යුරෝපා සංගමය යූරෝ මිලියන 42ක මුල්‍ය ආධාර ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරමින් ශ්‍රී ලංකාව තුල ව්‍යාපෘතීන් දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා යූරෝ මිලියන 42ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 6791.4) මුල්‍යාධාර ලබාදීමේ ගිවිසුම් සඳහා යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා රජය එළඹෙන ලදී.

මේ යටතේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණ සහයෝගීතා වැඩසටහන සඳහා යූරෝ මිලියන 30ක්ද ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ වැඩසටහන සඳහා යූරෝ මිලියන 12ක්ද ලබාදීමට එකඟතාවය ඇතිකරගන්නා ලද මෙම ගිවිසුම් සඳහා අප්‍රියෙල් මස 06 දින මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් තානාපතිතුමන් ඉදිරියේදී අත්සන් තබන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ වැඩසටහන සඳහා මෙයට අමතරව ජර්මානු පෙඩරල් සමුහාණ්ඩුවේ විදේශ කාර්යාලය යූරෝ මිලියන 2.4ක්ද බ්‍රිතාන්‍ය කවුන්සිලය යූරෝ මිලියන 0.1ක්ද ලබාදෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ වැඩසටහන, 2015 ඔක්තෝම්බර් මස පැවති යුරෝපා සංගමයේ විදේශ කටයුතු පිළිබඳ කවුන්සිලයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ දූෂණය අවම කිරීම,මානව හිමිකම් ආරක්ෂා කිරීම වැඩිදියුණු කිරීම හා නීතිය ආරක්ෂා කිරීම ඇතුළත් යහපාලනය ශක්තිමත් කිරීම සඳහා යුරෝපා සංගමයෙහි දායකත්වය ශ්‍රී ලංකා රජයට ලබාදීමට ඇතිකරගන්නා ලද එකඟතාවයෙහි සෘජු ප්‍රථිපලයකි.

මෙම වැඩසටහන, රජය සහ බිම් මට්ටමෙහි ජනතාව අතර සම්බන්ධතාවය වර්ධනය කිරීමට අමතරව සිවිල් සමාජයේ සහ විවිධ රාජ්‍ය ආයතනයන්හි අදහස් ලබාගැනීම තුලින් ප්‍රතිසංධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට දායක වනු ඇත. විවිධ සමාජ ඒකකයන් අතර පවතින බාධාවන් බිඳදැමීම සඳහා කලාව හා සංස්කෘතිය යොදාගැනීම තුලින් මෙන්ම භාෂාව නිසා ඇතිවන බාධකයන් සහ විවිධ සමාජීය අවශ්‍යතාවයන් ආමන්ත්‍රණය කිරීම තුලින්ද මෙම වැඩසටහන ප්‍රතිසංධානය සහ නැවත ගැටුම් ඇතිවීම වැලැක්වීම සඳහා දායක වෙයි.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණ සහයෝගීතා වැඩසටහන යටතේ රාජ්‍ය ආයතනයන්හි ධාරිතාවය වර්ධනය කිරීම, නව ඇසුරුම් ක්‍රම හඳුන්වාදීම, අවශ්‍ය ප්‍රදේශයන්හි වෙළඳපොල සහ නිෂ්පාදන යටිතල පහසුකම් වර්ධනය කිරීම මගින් කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීමට යුරෝපා සංගමය බලාපොරොත්තු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *