තිරසර සංවර්ධන කාර්යයන් සඳහා සම්බන්ධීකරණ කටයුතු කරලීමට ජපානයේ විශේෂ නියෝජිතයෙක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන කාර්යයන් සඳහා සම්බන්ධීකරණ කටයුතු කරලීමට ජපානයේ විශේෂ නියෝජිතයෙක් පත් කරන බව ජපාන කැබිනට් ලේකම් යොෂිහදෙ සුගා (Hon. Yoshihide Suga) මහතා පැවසීය.

12 වනදා උදෑසන ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකාච්ඡාවකට සහභාගී වෙමින් සුගා මහතා වැඩිදුරටත් පැවසූයේ මේ සඳහා ජපාන අග්‍රාමාත්‍ය උපදේශක ආචාර්ය හිරොතො ඉසුමි (Dr. Hiroto Izumi) මහතා පත්කිරීමට ජපාන රජය ක්‍රියාකරන බව ය.

ඉන්දීය සාගර කලාපයේ නිදහස් නාවුක ගමනාගමනය සහ සමුද්‍ර ආරක්‍ෂාව සම්බන්ධව මෙහිදී අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකාව සැම විටම සාමය සහ ආරක්‍ෂාව වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බවත්, කිසිදු ආකාරයක හමුදාමය ක්‍රියාදාමයන්ට ශ්‍රී ලංකාවේ සහයෝගයක් හෝ ඉඩකඩක් නොමැති බවත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස අවධාරණය කළහ.

ඉන්දීය සාගරය ආශ්‍රිත රටවල එකමුතුවෙන් ඉන්දීය සාගර සමුළුවක් පැවැත්වීමට ශ්‍රී ලංකාව අපේක්‍ෂා කරන බව වික්‍රමසිංහ මහතා පැවසීය. ඉන්දීය සාගර කලාපයේ සාමය හා ආරක්‍ෂාව සම්බන්ධයෙන් පොදු එකඟත්වයනට එළැඹිට එමගින් හැකි වන බවට විශ්වාසය පළ කෙරිණි.

ශ්‍රී ලංකාවේ රූපවාහිනී ඩිජිටල්කරණය සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගැනිණි. ඩිජිටල්කරණ ක්‍රියාවලිය කඩිනම් කරලීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

2025 වසරේ එක්පෝ ප්‍රදර්ශනය ජපානයේ ඕසකා නුවර පැවැත්වීම සඳහා ජපාන කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව පැවසූ සුගා මහතා, ඒ සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය අපේක්‍ෂා කරන බව සඳහන් කළේය. ඒ සඳහා පූර්ණ සහය ලබා දීමට ශ්‍රී ලංකාව සූදානම් බව වික්‍රමසිංහ මහතා පැවසීය.

විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරු මේ අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *