ඩෙංගු අධිසත්කාර ඒකක සහ වෙනම වාට්ටු සංකීර්ණ ස්ථාපිත කිරීමේ තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරිම සදහා බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පිහිටි ප්‍රධාන රෝහල්වල ඩෙංගු අධිසත්කාර ඒකක සහ ඩෙංගු රෝගීන් සදහා වෙනම වාට්ටු ස්ථාපිත කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, පානදුර රෝහල සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහල ද, දකුණු පළාතේ හම්බන්තොට, මාතර හා කරාපිටිය මහ රෝහල්වල ද නැගෙනහිර පළාතේ ත්‍රීකුණාමලය හා මඩකළපුව මහ රෝහල්වල ද මෙම ඒකක ස්ථාපිත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත බෙනරගම මහතාට නියම කළේය.

සිංහල හා හින්දු අළුත් අවුරුදු සමයේ දී ඩෙංගු රෝගීන්ට අඛණ්ඩව ප්‍රතිකාර කිරීම විධිමත් කිරීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ  පැවැති සාකච්ඡාවේ දී මෙම තිරණයට එළැඹුණි.

මෙම ඩෙංගු අධිසත්කාර ඒකක සහ ඩෙංගු රෝගීන් සදහා වෙනම වාට්ටු ලබන 20 දිනට පෙර ස්ථාපිත කරන ලෙසත්, ඊට අවශ්‍ය වෛද්‍ය, හෙද සහ අනෙකුත් කාර්ය මණ්ඩල හිඟයකින් තොරව ලබාදෙන ලෙසත්, සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

එම ඩෙංගු අධිසත්කාර ඒකක අධීක්ෂණය කිරීම විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම සහ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු යන මහත්වරු විසින් සිදු කරනු ලබයි. රෝගීන් ප්‍රවාහනය කිරීම සදහා ගිලන් රථ රියදුරන් ලබා දෙන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට නියෝග කළේය.

2017 වසරේ රෝහල් සංඛ්‍යාලේඛණ අනුව ගත වූ කාලය තුල ඩෙගු රෝගීන් 30,000 ක් පමණ වාර්තා වී ඇත. මෙම සාකචිඡාවට එක් වූ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ජාතික සම්බන්ධිීකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා ප්‍රකාශ කළේ දැනට දිස්ත්‍රික්ක 07 ක ඩෙංගු රෝගය වැඩි වී ඇති බවයි.

ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ රොගීන්ගේ වාර්තාවීමෙි අඩුවක් මෙි වනවිට දක්නට ලැඛෙන බව ද ඔහු සදහන් කළේය. ඩෙංගු අධිසත්කාර ඒකක සහ වෙනම වාට්ටු සදහා අවශ්‍ය උපකරණ, ඖෂධ හිඟයකින් තොරව ලබාදෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දෙන ලදි. ඩෙංගු රෝගීන් සදහා ලබාදෙන ඩෙස්ට්‍රෑන් ද්‍රාවණය ද හිඟයකින් තොරව ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට උපදෙස් ලබාදුන්නේය.

පාසල් නිවාඩුවෙන් පසු පාසල් ආරම්භ කිරීමෙි දී පවිත්‍රතා කටයුතු විධිමත් කිරිම සදහා අධ්‍යාපන, සෞඛ්‍ය, පළාත් පාලන සහ රාජ්‍ය ආරක්ෂක යන අමාත්‍යාංශවල නිලධාරීන්ගේ විශේෂ සාකච්ඡාවක් ලබන 24 දා පෙරවරුවේ පැවැත්වීමට ද තීරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *