එංගලන්ත දේශගුණයට හුරු කරවීමට ශ්‍රී ලංකා පිලට දියතලාවේ පුහුණු සැසියක්

(කොළඹ, ලංකාපුවත්) – එළැඹෙන අයි.සි.සී. චැම්පියන්ස් ලීග් එක්දින ක්‍රිකට් ශූරතාවලිය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලබන මැයි මස 10 වැනිදා මහනුවර සහ දියතලාවේ දින 6ක පුහුණු සැසියක් ආරම්භ කිරීමට නියමිතය.

එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වෙන මෙවර අයි.සී.සි. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් එරට සීත දේශගුණික තත්ත්වයට හුරු කරවීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක කිරීමට නියමිත මේ පුහුණු සැසිය තරගාවලියට එක්වන තරුණ ක්‍රීඩකයන්ට අතිශය වැදගත් වනු ඇතැයි කණ්ඩායමේ පුහුණුකරු ග්‍රෙහැම් ෆෝර්ඩ්ගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු සහ තේරීම් කමිටු සාමාජික අසංක ගුරුසිංහ මහත්වරුන්ගේ අදහස වී තිබේ.

මැයි මස 9 වැනිදා මහනුවර බලා පිටත්වීමට නියමිත ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් ඊට පසු දින පුහුණුවීම් ආරම්භ කරන අතර ඊට දින තුනකට පසුව දියතලාවේ පුහුණුව බලා පිටත්ව යනු ඇත. මෙවර චැම්පියන්ස් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිලේ අවසන් සංචිතය පුහුණු සැසියට පෙර නම් කිරීමට නියමිත බැව් ආරංචි මාර්ග සඳහන් කරයි.

ස්කොට්ලන්ත පිල සමග පුහුණු තරග 2කට ද සහභාගිවන බැවින් ජූනි මස මුල දී ආරම්භ වන අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් ශූරතාවලියට දින 8කට පෙර ශ්‍රී ලංකා පිල එංගලන්තය බලා පිටත්වීමට නියමිතය.

ජූනි මස 1 වැනිදා සත්කාරක එංගලන්තය සහ බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගයෙන් ආරම්භ වන අයි.සී.සී.චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් ශුරතාවලියේ මූලික වටයේ තරග ජූනි මස 12 වැනිදා දක්වා පැවැත්වෙන අතර අවසන් පූර්ව වටයේ තරග ජූනි මස 14 (කාඩිෆ්) සහ 15 (බර්මින්හැම්) දෙදිනත්, අවසන් මහා තරගය ජූනි මස 18 වැනිදාත් (කෙනින්ටන් ඕවල්) පැවැත්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *