අවතැන් සියලු දෙනාට මාස 3ක් ඇතුළත නව නිවාස – අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් ආපදාවට ලක්වූ සියලූදෙනාට මැයි, ජුනි සහ ජූලි මාස වන විට නව නිවාස ලබාදීමට දැනට කටයුතු කරමින් සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව ලබාදිය හැකි නිවාස හඳුනාගෙන ඇත. එතෙක් ජනතාවට රැඳීසිටීමට තාවකාලික ස්ථාන සහ අනෙකුත් පහසුකම් ලබාදීමටත් කටයුතු කරන බවද අගමැතිවරයා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත් ජනතාව පිළිබඳ සොයා බැලීම සඳහා මීතොටමුල්ල රාහුල විදුහලට ඊයේ (19) උදේ වරුවේ ගිය අවස්ථාවේදිය.

මේ වන විට ජනතාවට සිදු වූ හානිය පිළිබඳ තක්සේරු කරමින් සිටින බවද සිකුරාදා දිනය වන විට එම තක්සේරු කිරීම්වල අවසන් වාර්තාව ලබාගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ අගමැති වික්‍රමසිංහ මහතා මේ සහන සැලසීමේ ක්‍රියාවලිය සඳහා සියලුම ආයතන එකට එකතු වී කටයුතු කළ යුතු වන අතර, ඒ සඳහා සහයදීමට ජපානයෙන් සහ ලෝක බැංකුවෙන් කණ්ඩායම් දෙකක් පැමිණෙන බවද සඳහන් කෙළේය. රාහුල විදුහලට පැමිණීමට පෙර අගමැති වික්‍රමසිංහ මහතා විපතට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවටද සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *