මීතොටමුල්ලේ අවතැන් වූ ජනතාවට ජනපති නියමයෙන් සහනයක්

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් විපතට පත් පවුල් සඳහා තාවකාලික නිවාස ලබාගැනීම වෙනුවෙන් මසකට රුපියල් 50,000 බැගින් මාස තුනක කාලයක් ගෙවීමට නියමිත මුදල, එකවර එම පවුල් වෙත ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

තාවකාලික නිවාස ලබා ගැනීමේදී ගෙවිය යුතු අත්තිකාරම් මුදල් ගැටලු මඟහරවා ගැනීම මෙමගින් අපේක්ෂා කරයි.

ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

කුණු කසළ කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතන සකස් කර ඇති සැලසුම් ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී නිලධාරීන් දැනුවත් කළ ජනාධිපතිතුමා, සියලු පළාත් සහකාර කොමසාරිස්වරුන්ට තමා හමුවීමට කැඳවීමක් කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දී ඇත.

එසේම කැළි කසළ කළමනාකරණය වෙනුවෙන් පුහුණු සහ නිරීක්ෂණ කටයුතු සඳහා පසුගිය වසර 05 ක කාලය තුළ විදේශ ගතවූ නිලධාරීන් පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙසට ද ජනාධිපතිතුමා පරිසර අධිකාරියට නියෝග කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *