ඉන්දු – ශ්‍රී ලංකා බුද්ධි අංශ සමීපව ක්‍රියා කිරීමේ වැදගත්කම අවධාරණය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය වසර දෙකක කාලය තුළ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා යළි ශක්තිමත් හා ගැඹුරු තලයකට පත්ව ඇති බව ද, ඒ තත්ත්වය උදා කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සේවාව අගය කරන බව ද ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා පැවසීය.

ඉන්දියාවේ නවදිල්ලි නුවර දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස හමුවෙමින් රාජ්නාත් සිං මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ වසර දහස් ගණනක් පුරා දෙරට අතර ඓතිහාසික, සංස්කෘතික, ජනවාර්ගික හා ශිෂ්ඨාචාරීය සබඳතා පැවතුණ ද, විවිධ අවස්ථාවල ඒ සබඳතා යම් යම් පළුදු වීම්වලට ද ලක් වුණ වගය.

නමුත් ගෙවුණු වසර දෙකක කාලය තුළ ඒ සබඳතා යළිත් ඉතා ඉහළ මානයකට එසැවී ඇති බව අවධාරණය කළ සිං මහතා පෙන්වා දුන්නේ කලාපයේ ආරක්‍ෂාව, නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම උදෙසා මේ සබඳතාවන් උපරිම වශයෙන් භාවිත කළ යුතු බවය.
කලාපීය හා ගෝලීය ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, මිනිස් ජාවාරම්, හොර සල්ලි ආදී විවිධ නීති විරෝධී ක්‍රියාවන් මැඬලීම උදෙසා දෙරටේම බුද්ධි අංශ සමීපව ක්‍රියා කිරීමේ වැදගත්කම හා අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.
දෙරටේ බුද්ධි අංශ අතර නිරන්තර සංවාදයක් පැවැතිය යුතු බව දෙපාර්ශවයේම අදහස විය.

එසේම ශ්‍රී ලංකාවේ පොලිස් සේවය නවීකරණය කිරීමේ දී ඉන්දීය අත්දැකීම් කෙතරම් ඉවහල් කර ගත හැකි ද යන්න පිළිබඳව ද විමසා බැලීම සුදුසු බවට අදහස් හුවමාරු කර ගැනිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *