කුඩා දරුවෙක් පැහැරගෙන යාමක් ගැන පොලිසියෙන් විමර්ශන

(කොළඹ, ලංකාපුවත්) – ගම්පොළ බස් නැවතුම්පල අසළ දී කුඩා පිරිමි දරුවෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.

පසුගිය 02වනදා පස්වරු 2.00ට පමණ මෙම පැහැර ගැනීම සිදුවූ බව ගම්පොළ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

ගම්පොළ පදිංචි කාන්තාවක් විසින් ඇයගේ වයස අවුරුදු 02යි මාස 08ක් වූ පිරිමි දරුවා ඥාතියෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බවට සදහන් කරමින් ගම්පොළ පොලිසියට පැමිණිලි කර ඇත.

දැනට සිදු කර ඇති විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ කාන්තාව විසින් ඇයගේ ස්වාමි පුරුෂයාට දිවා ආහාරය මෙම ඥාතිපුද්ගලයා මගින් ලබා සීමට යොමු කර ඇති අතර එහිදී තම කුඩා පුතු ද ඔහු සමග යෑමට අවශ්‍ය බව පවසමින් ඉල්ලා සිටි විට ඒ සදහා ඉඩ ලබා දී පිටත් කර හැර ඇති බවය.

ඒ අනුව මෙම පුද්ලගයා දරුවාද රැගෙන ස්වාමි පුරුෂයා සිටි ස්ථානයට නොගොස් පලාගොස් ඇති බවට කරුණු වාර්තා වේ.

ගම්පොළ පොලිසිය විසින් සිදු කළ විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වී ඇත්තේ අදාළ පුද්ගලයා යම් මානසික ආබාධයකින් පෙළෙන්නෙක් බවත් ඔහු ඒ සදහා ප්‍රතිකාර ගනිමින් සිටි අයෙකු බවත් ය.

දරුවා කඩිනමින් සැකකරුගෙන් මුදා ගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට ගම්පොළ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මේවන විටත් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *