අසත්‍ය ප්‍රචාර පතුරුවන සමාජ ජාල පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැමිණිල්ලක්

(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍ය සේවාවට හානිවන ලෙසින් අසත්‍ය ප්‍රචාර පතුරුවන සමාජ ජාල පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.

රාත්‍රී කාලයේ රුධිරය ලබා ගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ මුවාවෙන් කිසියම් පිරිසක් එච්අයිවී ඒඩ්ස් ආසාධනය පතුරුවන බවට ඇතැම් සමාජ වෙබ් අඩවි අසත්‍ය තොරතුරු පැතිරීම පිළිබඳ කඩිනම් පරීක්‍ෂණයක් පවත්වන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි බරවා රෝග මර්දන වැඩසටහන විසින් මෙම පැමිණිල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇත.

බරවා මර්දන ව්‍යාපාරයට අනුයුක්තව සේවය කරන මහජන සෞඛ්‍ය නිලධාරීන් රාත්‍රී කාලයේ නිවෙස්වලට පැමිණ රුධිර සාම්පල ලබාගෙන ඒවා රසායනාගාර පරීක්‍ෂණ සඳහා යොමු කරනු ලැබේ. එහිදී හඳුනාගන්නා රෝගීන්ට නිවසටම පැමිණ ප්‍රතිකාර ලබා දීම ද සිදු කෙරේ. මෙම රුධිර පරීක්‍ෂාව රාත්‍රී කාලයේදීම සිදු කිරීම අවශ්‍ය වන්නේ බරවා ක්‍ෂුද්‍ර පණුවා පර්යන්ත රුධිරයට පැමිණෙන්නේ රාත්‍රී කාලයේදී වීම හේතුවෙන්ය.

සෞඛ්‍ය නිලධාරීන් නිවෙස්වලට පැමිණෙන්නේ නිල ඇඳුමෙන් සැරසී හැඳුනුම්පත ද පැළඳ බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් අවධාරණය කරනු ලැබේ.

ඒ අනුව සමාජ ජාලවලට වැරදි තොරතුරු ඇතුළත් කර අසත්‍ය ප්‍රචාර පතුරුවන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *