වෙසක් බැලීමට එන බැතිමතුන්ගේ ආරක්‍ෂාවට පොලිසියෙන් සීසීටීවී කැමරා

(කොළඹ, ලංකාපුවත්) – ඉකුත් 07වනදායින් ඇරඹි වෙසක් සතිය තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.

මේ වැඩපිළිවෙල යටතේ කොළඹ ඇතුළු ප්‍රධාන නගර, උප නගර, ග්‍රාමීය ප්‍රදේශ තුළ එම ප්‍රදේශයන් අයත් පොලිස් ස්ථාන මලින් මෙම ආරක්‍ෂිත වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

කොළඹ නගරය තුළ ක්‍රියාත්මක විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙලයටතේ වෙසක් කලාප ලෙස නම් කර ඇති දියවන්නාව, චෛත්‍ය පාර, හුණුපිටිය ගංගාරාම වැනි ප්‍රදේශයන් තුළ මහජනතාව හැසිරවීමට සහ රථවාහන පාලනය සදහා වැඩි පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යොදවා ඇත.

එසේම අදාළ ප්‍රදේශ තුළ ගැවසෙන ගැටකපන්නන් ඇතුළු අපරාධ සිදු කිරීමට මාන බලන පුද්ගලයන් පිළිබදවද ආවේක්‍ෂණය කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් කණ්ඩායම් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. එමෙන්ම දැනට කොළඹ නගරය තුළ ක්‍රියාත්මක සීසීටීවී කැමරා පද්ධතියට අමතරව අතිරේක කැමරා කිහිපයක් වෙසක් කලාප ආවරණය වන පරිදී යොදවනු ඇත. එසේම සීසීටීවී කැමරා සවි කරන ලද වාහන යොදා ගනිමින් ආරක්‍ෂාව අතින් වැදගත් ස්ථාන ආවරණය කිරීමටත් පොලීසිය ක්‍රියා කරනු ලැබේ.

වෙසක් සිරි නැරඹීමට වැඩිහිටියන් සමග පැමිණෙන කුඩා ළමයින්ගේ ආරක්‍ෂාව සදහා වැඩි අවධානයක් යොමු කරන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

වෙසක් සමය තුළ මාර්ග භාවිතා කරන පදිකයින්ට සහ සෙසු රියදුරන්ට අවහිරවන පරිදි යතුරු පැදි ධාවනය කරන පැදිකරුවන් සම්බන්ධව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කරන බව ද දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *