ජාත්‍යන්තර බෞද්ධ චිත්‍රපට උළෙලක් මහනුවර දී

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙලට සමගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ චිත්‍රපට උළෙලක් අද(12) සහ හෙට(13) මහනුවර ළමා පුස්තකාලයේදී පැවැත්වේ.

එක්සත් ජාතීනගේ 14 වන ජාත්‍යන්තර වෙසක් දින උළෙල හා ලෝක බෞද්ධ මහා සමුළුවේ සමාප්ති උළෙලට සමගාමීව ලෝක බෞද්ධ උරුමයන් පිළිබඳව ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින කමිටුව හා ජාත්‍යන්තර ලෝක බෞද්ධ උරුමයන් පිළිබඳව සිනමා පදනම එක්ව මෙය සංවිධානය කරනු ලැබේ.

ජාත්‍යන්තර බෞද්ධ චිත්‍රපටි උළෙලක් 2017 මැයි මස 12 සහ 13 යන දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා මහනුවර ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

බෞද්ධ උරුමයන් පිළිබඳ ලෝකයේ විශිෂ්ඨ බෞද්ධ චිත්‍රපටි 7ක් මෙම චිත්‍රපට උළෙල සඳහා තෝරාගෙන ඇති අතර, ඒ සඳහා ඉන්දියාව, නේපාලය, ඉන්දුනීසියාව, පාකිස්ථානය, චීනය, කොරියාව හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චිත්‍රපටි 7 ප්‍රදර්ශනය කරන අතර, ලෝක බෞද්ධ ප්‍රජාව පිළිබඳව හා ලෝක බෞද්ධ උරුමයන් පිළිබඳව ශ්‍රී ලාංකීක ජනතාවට මෙම චිත්‍රපට තුළින් පුළුල් දැනුමක් හා අවබෝධයක් ලැබෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින කමිටුව සදහන් කරයි.

The Birth Land of the Buddha (ඉන්දියාව – නේපාලය), Borobudur (ඉන්දුනිසියා), Gandhara – Land of Peace (පාකිස්ථානය), Secrets Underground (චීනය), Sacred Rebirth (කොරියාව), The Cradle of Buddist Civilization (ශ්‍රී ලංකාව), Eternal Sacred City – Anuradhapuraya යන චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ.

නොමිලේ පැවැත්වෙන මෙම චිත්‍රපට උළෙල නැරඹීම සඳහා මහනුවර නගරයේ ප්‍රධාන පාසල් වල දරු දැරියන්ට හා මහජනතාවට විවෘත වන අතර මැයි මස 12 සහ 13 වන දින වල පෙ.ව.9.00 සිට ප.ව 6.00 දක්වා නැරඹිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *