කුමන විවේචන එල්ලවුවද රජයක් ලෙස අභියෝගාත්මකව ඉදිරියට කටයුතු කරනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ඇතැම් පුද්ගලයන්ගෙන් කුමන විවේචන එල්ලවුවද රජයක් ලෙස අභියෝගාත්මකව ඉදිරියට කටයුතු කරගෙන යන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි.

ආණ්ඩුව දුර්වල බව පවසමින් ආණ්ඩු පිහිටුවීමට අද ඇතැමුන් සිහින දකිමින් සිටින බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා පසුගියදා ගෝල්ෆේස් පිටියේ පැවති මැයි දින රැළියෙන් පසු ආණ්ඩු පිහිටුවීමට ඇතැමුන් සිහින දුටුවත්, පිට්ටනියකට බස්වලින් ගෙන ආ ජනතාව අනුව ආණ්ඩු හැදීමට සිහින දකිනවා නම් එය විහිළුවට කරුණක් බව ද කියා සිටියේය.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ අද (15) පෙරවරුවේ අරලගංවිල විලයාය මහා විද්‍යාලයේ පැවති මහවැලි ඉඩම් ඔප්පු ලක්ෂයක් පිරිනැමීමේ සහ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන අමතමිනි.

රටේ වාරි සහ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ සංවර්ධනය උදෙසා දැවැන්ත ව්‍යාපෘති රැසක් රජය මේ වන විට ක්‍රියාවටනංවා තිබෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා තවත් විශාල වාරි ව්‍යාපෘතියක් වූ මාදුරුඔය දකුණු ඉවුරේ සංවර්ධන කටයුතු මෙම වසරේදී ආරම්භ කරන බව ප‍්‍රකාශ කළේය.

එමෙන්ම අනුරාධපුර, පොළොන්නරුව කුරුණෑගල සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල පැරණි වැව් 600 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ද ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මෙම වසරේදී ක්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා පැවසීය.

රජ රට ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ මොරගහකන්ද ව්‍යාපෘතිය තුළින් එම ජනතාවගේ ජල ගැටලුවට අද විසඳුම් ලැබෙමින් පවතින බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඉදිරි මහ කන්නයේ දී ජලාශය සම්පූර්ණයෙන් ජලයෙන් පිරවීමෙන් පසු යළිත් ජල අර්බුදයකට මුහුණ දීමට රජ රට ජනතාවට සිදු නොවනු ඇති බව ද කියා සිටියේය.

පසුගිය රජය සංදර්ශනාත්මක සංවර්ධනයක් රටට පෙන්වා මහා සංවර්ධනයක් ගැන කථා කළද ඒ තුළ තිබූ ණය බර අද රටක් ලෙස ඉදිරියට යාමේදී මතුව ඇති බරපතළම ගැටලුවක් බවට පත්ව ඇති බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය. ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණෙන විට කළු කොඩි ඔසවන්නැයි පැවසූ ඇතැමුන් මහා රාත්‍රියේ ගොස් එතුමා හමු වූ බව තමාට දැන ගන්නට ලැබුණු බව ද ජනාධිපතිතුමා පැවසීය.

මහවැලි ජනපදිකයින්ගේ උපන් බිමේ උරුමය තහවුරු කරමින් ඉඩම් ඔප්පු ලක්ෂයක් පිරිනැමීමේ වැඩසටහන යටතේ මහවැලි බී සහ සී කලාපවල ජනපදිකයින්ට ඉඩම් ඔප්පු දස දහසක් ප‍්‍රදානය කිරීම අද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

2017 ජිවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් ආවරණය කරමින් ජීවනෝපාය මාර්ග සංවර්ධන වැඩසටහන් සඳහා අවශ්‍ය උපකරණ බෙදා දීමද මෙහිදී සිදු කෙරිණි.

පාසල් සහ විහාරස්ථාන සඳහා ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පෙරණ පද්ධති සහ ජල ටැංකි බෙදාදීම ද සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *