“ලංකා කුමරු” කාටූන් චිත්‍රපටය හඳුන්වා දීමේ උළෙල අගමැතිගේ ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – චීන – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට වසර 60 ක් පිරීම නිමිත්තෙන් බෙයිජිං රූපවාහිනී ආයතනයට අනුබද්ධ බෙයිජිං කකු මීඩියා (Beijing KAKU Media) සමාගම විසින් නිර්මාණය කරන  “ලංකා කුමරු” නම් කාටූන් චිත්‍රපටය හඳුන්වා දීමේ උළෙල ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන සම්භාවනීයයන්ගේ ප්‍රධානත්වයෙන් බෙයිජිං නුවර කෙරි හෝටලයේ පූදොන් ශාලාවේදී පැවැත්විණි.

ඈත අතීතයේ ලංකාවේ සිට චීන දේශයට ගිය ලාංකේය රජ කුමරෙකු පිළිබඳ සත්‍ය කතාව පදනම් කර ගනිමින් කොටස් 30 කින් යුතු මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට නියමිතය.

දැනට තිරනාටකය සහ අනෙකුත් පර්යේෂණ කාර්යයන් නිමවා ඇති අතර, තවත් මාස හයක කාලයක් තුළදී නිෂ්පාදන කටයුතු නිම කිරීම කකු මීඩියා සමාගමේ අපේක්‍ෂාවයි.

බෙයිජිං රූපවාහිනී ආයතනයේ වැඩ සටහන් මිලියන 900 කට ආසන්න ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹන බැවින්,  “ලංකා කුමරු” ඔස්සේ ශ්‍රී ලංකාව පිළිබඳ විශාල ප්‍රචාරක වාසියක් ලබා ගත හැකි බව මේ අවස්ථාවට එක්වූ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය.

බෙයිජිං කකු මීඩියා සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සොං යි මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව සහ චීනය අතර තව තවත් රූපවාහිනී හුවමාරු වැඩසටහන් සිදු කිරීම තමන්ගේ අනාගත අපේක්‍ෂාව බවයි.  “ලංකා කුමරු” නිර්මාණයෙන් පසුව ඒ පිළිබඳව ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා පැවසීය.

නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු ඇතුළු දෙපාර්ශවීය නියෝජිතයෝ මේ අවස්ථාවට එක් වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *