නව ආර්ථිකයක් ගොඩ නැගීමට සියලු රටවල් එක්විය යුතුයි – අගමැති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – ආර්ථිකයේ නව වර්ධනයක් ඇති කිරීමට සියලු රටවල් එක්විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එක් තීරයක් එක් මාවතක් මහ සමුළුවේ වටමේස සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

චීනයේ බීජිං නුවර යැන්සිවිල නිකේතන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එක් තීරයක් එක් මාවතක් සමුළුවේ වටමේස සාකච්ඡාව ඊයේ(15) පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ මෙම සමුළුවේ ප්‍රයත්නය සෑම රටකම දුරබැහැර ගම්මානවලට පවා ප්‍රතිලාභ ගලා යාමට පසුබිම සැකසීම බවයි.

කලාපයේ ආර්ථික වර්ධනයට හා සමෘද්ධියට පදනම වන්නේ ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනා ගමනයයි. එහෙයින් එහි ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා සමකාමී හමුදා නොවන සම්බන්ධතා දිරිගැන්වීම අත්‍යාවශ්‍ය බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. බහු පාර්ශ්වික වෙළෙඳ කටයුතු, වාණිජමය පදනමකින් පවත්වාගෙන යාම සහතික කිරීම වැදගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම සාකච්ඡාවේ දී අවධාරණය කළේය. සම්මුතිවාදී ආණ්ඩුව සියලු ජනතාවට ආර්ථික වර්ධනය හා සමෘද්ධිය ළගාකර ගැනීමට හැකි පදනම සකසා තිබේ.

ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්වීමේ ශ්‍රී ලාංකීය අභිලාශය මුදුන්පත්කර ගැනීමට එක් තීරයක් එක් මාවතක් ප්‍රයත්නය යටතේ ඉඩකඩ සැලසෙන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *