චීනයෙන් යුආන් බිලියන 2ක තවත් ආධාර

(කොළඹ, ලංකාපුවත්) – 2018 /2020 කාලය සඳහා යුවාන් බිලියන 02ක ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමට චීන ජනාධිපති ෂී ජින් පින්ග් මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහතික විය.

මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා චීනය ලබාදෙන යුවාන් මිලියන හාරසියයක ආධාර මුදලට අමතරව මෙසේ ආධාර ලබාදීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හා චීන ජනාධිපතිවරයා අතර හමුව පැවැත්වුණේ බීජිං නුවර චීන මහජන මහා ශාලාවේ දීය.

ශ්‍රී ලංකාවේ ජාතික සමගිය , සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය සඳහා පූර්ණ සහාය ලබාදෙන බවද චීන ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේය.

චීන ශ්‍රී ලංකා තානාපති සබඳතාවන්ට වසර 60ක් සපිරේ. රබර් සහල් ගිවිසුමට ද මෙම වසරේදී වසර 65ක් සපිරෙනු ඇත. එම පැරණි සබඳතා තවත් ශක්තිමත්කර ගනිමින් ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාව චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එක් තීරයක් එක් මාවතක් මහ සමුළුව සංවිධාන කිරීම හා ඩවොස් ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චීන ජනාධිපතිවරයාට ස්තූතිය පළකළේය.
විවෘතව හා සුහදව සියලු රටවල් සමඟ අත්වැල් බැඳගනිමින් ක්‍රියා කිරීම වැදගත් බව ද අග්‍රාමාත්‍යවරයා කියාසිටියේය. ශ්‍රී ලංකාවේ සංවර්ධන හා ආයෝජන කටයුතුවලදී චීනය ලබාදෙන සහයෝගය ද අග්‍රාමාත්‍යවරයාගේ ඇගයීමට මෙහිදී ලක්විය.

පොදු සංවර්ධධනය හා සමෘද්ධිය ලබාගත හැකි වන්නේ ජාත්‍යන්තර එකමුතුව හරහාය. එමගින් ගෝලීයකරණයේ අහිතකර ප්‍රතිඵල අවමකර ගැනීමට ඉඩ සැලසෙන බවද ෂී ජින් පින්ග් මහතා කියාසිටියේය.

මේ අතර චීන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන්ගේ හමුව ද පැවැත්වුණි.

ශ්‍රී ලංකා චීන නිදහස් වෙළඳ ගිවිසුම මෙම වසරේ දී අත්සන් කිරීමට අපේක්ෂා කරන බව චීන අග්‍රාමාත්‍ය ලී කජියාන් මහතා එහිදී කියාසිටියේය.

ආසියාවේ ආර්ථිකය හා තරගකාරී තත්ත්වයට පත්කිරීමට මෙන්ම ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට නැගී සිටීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව චීන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පැරණි සබඳතා යළි ශක්තිමත්කර ගනිමින් හම්බන්තොට කර්මාන්තපුරය හා කොළඹ මූල්‍ය නගරය ඔස්සේ ලබාගැනීමට අපේක්ෂාකරන වාසිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *