කැලණිවැලි දුම්රිය මාර්ගයේ අනවසර ජනයා ගැන සමීක්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – කැලණිවැලි දුම්රිය මාර්ගය දෙපස ජීවත්වන අනවසර පදිංචිකරුවන්ට විකල්ප ඉඩම් හා නිවාස ලබාදී ඉවත් කිරීම සඳහා එම ප්‍රදේශය ආශ්‍රිතව අද (19) සිට මාස හයක කාලයක් පුරා සමාජ හා ආර්ථික සමීක්ෂණයක් සිදුකරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

වසර 25කට ආසන්න කාලයක් මෙසේ අනවසරයෙන් පදිංචිවී සිටින පවුල් 3000කට අසාධාරණයක් නොවන අයුරින් කැලණිවැලි ද්විත්ව දුම්රිය මාර්ගය ඉදිකිරීමට අවශ්‍ය බැවින් යූ එන් හැබිටැට් නම් ස්වාධීන ආයතනයක් මගින් මෙම සමාජ ආර්ථික සමීක්ෂණය සිදුකරනු ඇත.

කොළඹ කොටුවේ සිට පාදුක්ක දක්වා සිදුකරන මෙම සමීක්ෂණය පිළිබඳව කැලණිවැලි දුම්රිය මාර්ගය දෙපස සිටින අනවසර පදිංචිකරුවන් අතර, විවිධ මත හා ප්‍රචාරයන් ඇතිවීමට ඉඩ තිබෙන බවත්,ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලන නියෝජිතයන් හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කළ බවද සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

දැනට කොළඹ නගරයට දුම්රිය මාර්ග හතරකින් ජනතාව පැමිණෙන බවත්,කාර්ය බහුල අවස්ථාවලදී පාදුක්ක සිට කොළඹ දක්වා පමණක් කැලණිවැලි දුම්රිය මාර්ගයේ 15000කට ආසන්න මගී ජනතාවක් පැමිණෙන බවත් හෙතෙම කියා සිටියේය.

කැලණිවැලි මාර්ගයේ පැමිණෙන මගීන්ගේ ගමන් පහසුව සඳහා දැනට ක්‍රියාත්මක වන්නේ දුම්රියන් පහක් පමණක් බවත්, එය දුම්රියන් 18ක් දක්වා වැඩිකරන බවත්, පැවසූ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ සඳහා කොටුව සිට පාදුක්ක දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදිකරන බවත්, අවිස්සාවේල්ල සිට කොළඹ දක්වා හයිලෙවල් මාර්ගයේ පවතින අධික මාර්ග තදබදයට මෙය විසඳුමක් බවත් පවසා සිටියේය.

එම ද්විත්ව දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් සහනදායී ණය යටතේ ඩොලර් මිලියන 600ක මුදලක් ලැබීමට නියමිත බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *