උතුරට විශාල බදු සහනයක් දෙන බව අගමැති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – පළමුවෙන්ම උතුරේ සංවර්ධන කටයුතු ආරම්භ කර යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව යාපනය, මන්නාරම, ත්‍රිකුණාමලය, දඹුල්ල අධිවේගී මාර්ග ඉදිකිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

එමෙන්ම මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීමටත් බලාපොරොත්තු වන බව පෙන්වා දුන් අගමැතිවරයා උතුරට කර්මාන්ත ගෙන එන අයට විශාල බදු සහන ලබාදෙන බව ද සඳහන් කළේය.
මෙහි සංචාරක ව්‍යාපාරය මෙන්ම ධීවර කර්මාන්තය දියුණු කිරීමටත් කටයුතු කරන බවත් ඊළඟ මාස කිහිපයේදී මේ පිළිබඳ සාකච්ඡා කළ හැකි බව මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට පසුගියදා සහභාගී වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
අගමැතිවරයා සිදු කළ කතාව පහත සඳහන් වේ.
“වන්නියේ ජනතාව සේවය ලබාගැනීම සඳහා නවීන ගොඩනැගිල්ලක් ලැබී තිබෙනවා. ජනතාව එයින් ප්‍රයෝජන ලබාගත යුතුයි. වජිර අබේවර්ධන ඇමැතිතුමාත්, රිෂාඩ් බදුර්දීන් ඇමතිතුමාත් මේ කාර්යාලය විවෘත කරන්නට එන්නැයි මට ආරාධනා කළා. මේ ප්‍රදේශයේ දියුණු කිරීමට රිෂාඩ් බදුර්දීන් ඇමැතිතුමා බොහෝසෙයින් වෙහෙසෙනවා. එමෙන්ම මේ ප්‍රදේශයේ කර්මාන්ත කරණයට ලක් කිරීමට ඔහු උනන්දු වෙනවා. මේ ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් බදුර්දීන් මහතා හැමවිටම මගෙන් ඉල්ලීම් කරනවා.
පාර්ලිමේන්තුවේදීත් රිෂාඩ් බදුර්දීන් ඇමැතිතුමා ඇතුළු මේ ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙහි දියුණුව ගැන මගෙන් නිතරම විමසීම් කරනවා. මන්නාරමේ තිබෙන ප්‍රශ්න ගැන කියනවා. මේ ප්‍රදේශයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ වාර්තා ලැබුණු පසු පළාත් සභාවටත් සංවර්ධනය සඳහා වන වියදම් ලබාදෙන බවට මා ප්‍රකාශ කරනවා.
යුද්ධයෙන් විනාශ වූ මන්නාරම හා වන්නිය දියුණු කිරීමට පළාත් සභාව හා මහආණ්ඩුව එකට එක්වී වැඩකටයුතු කළ යුතුයි. මේ සංචාරයේදී උතුරු මහ ඇමැතිතුමාත් මුණ ගැසෙනවා. මේ උත්සවය පවත්වන්නේ එක් අතකින් විශේෂ දිනයකයි. යුද්ධය පැවැති සමයේදී රණවිරුවන්ට ඇතුළු විශාල පිරිසකගේ ජීවිත අහිමි වුණා.
යුද්ධයේදී දෙපාර්ශ්වයේම ජීවිත අහිමිවූයේ ශ්‍රී ලාංකිකයන්ගේ බව කිව යුතුයි. ඔවුන් විදේශිකයින් නොවේ. ශ්‍රී ලාංකික පුරවැසියන් වන දෙපාර්ශවයෙන්ම ජීවිතයෙන් වන්දි ගෙව්වා. යුද්ධය නිසා අහිංසක ජනතාව මරුමුවට පත් වුණා. 1983 සිට ශ්‍රී ලාංකික ජනතාව යුද්ධය නිසා මියගියා. එලෙස මියගිය සියලූම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පිං පමුණුවමු. බොහෝ ජනතාව තමන්ගේ මියගිය ඥාතීන් පිළිබඳව කල්පනා කරනවා. අපත් ඔවුන් පිළිබඳව එක සිතුවිල්ලකින් කල්පනා කළ යුතුයි. ඒ වෙනුවෙන් සංහිදියාව ඇති කර දේශපාලන විසඳුමක් ලබාදිය යුතුව තිබෙනවා.
කොටි සංවිධානය මේ ප්‍රදේශය පාලනය කරන සමයේ මෙහි තරුණ තරුණියන්ට ඔවුන් යටතේ විවිධ දේ සිදුකරන්නට යොමුවුණා. ඒ අය කිසිවිටකත් කොන්කළ යුතු නැහැ. ඔවුන්ද සමාජයට ඇතුළත් කොට සංවර්ධනයට එකතු කරගත යුතුව තිබෙනවා.
පළමුවෙන්ම අප මෙහි සංවර්ධන කටයුතු ඇරඹිය යුතුයි. යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව යාපනය, මන්නාරම, ත්‍රිකුණාමලය, දඹුල්ල අධිවේගී මාර්ග ඉදිකිරීමටත් පියවර ගන්නවා. එමෙන්ම මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීමටත් බලාපොරොත්තු වෙනවා.
උතුරට කර්මාන්ත ගෙන එන අයට විශාල බදු සහන ලබාදෙනවා. මෙහි සංචාරක ව්‍යාපාරය මෙන්ම ධීවර කර්මාන්තය දියුණු කිරීමටත් අප කටයුතු කරනවා. ඊළඟ මාස කිහිපයේදී මේ පිළිබඳ අප සාකච්ඡා කරමු. මේ සියලූදේ සාර්ථක වන්නේ සංහිදියාව සහ දේශපාලන විසඳුමක් ලබාදුනහොත් පමණයි.
එම දේශපාලන විසඳුම ලබාදීමට ශ්‍රී ලංකාවේ නායකයින්ට හැකියාව තිබෙන බව ලෝක නායකයන් පවා පිළිගෙන තිබෙනවා. යුද්ධයේදී අතුරුදහන් වූවන් පිළිබඳ අප දැන් පියවර ගන්නවා.

සියලූදෙනා පිළිගන්නා නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. එම වැඩකටයුත්ත සිදුකළ යුතු බව මා හමුවූ සියලූම ලෝක නායකයන් මට පැවසුවා. ජපාන අගමැතිතුමා මට ඒ බව පැවසුවා. මෝදි අගමැතිතුමා මෙහි පැමිණ අප සමග කතා කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්‍ෂනායක ආර්. සම්බන්ධන්, උතුරේ මහ ඇමැති සි.වී. විග්නේෂ්වරන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් සමගත් මා සමඟත් ඉන්දීය අගමැතිවරයා කතා කළා. ඉක්මනින්ම මේ අර්බුදය ගැන විසඳුමකට එන්නැයි දැනුම් දුන්නා.
ව්‍යවස්ථාදායක සභාවේ මෙහෙයුම් කමිටුවේ අවධානය මේ පිළිබඳ යොමුවී ඇති බවත් ඒ ගැන මූලික සාකච්ඡා සිදු කෙරෙන බවත්, ඊළඟ මාස දෙක ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන බවත් මා ඉන්දීය අගමැතිවරයාට දැනුම් දුන්නා. අපට මේ ප්‍රශ්නය දිගින් දිගටම අදිමින් ඉදිරියට ගෙනයන්නට බැහැ. ලබන සුමානයේ සිට අප එම සාකච්ඡා ආරම්භ කරනවා. මූලික එකඟතා ගණනාවකට එළැඹිය හැකියි. ඉදිරි ප්‍රශ්න පිළිබඳව අපට සාකච්ඡා කළ හැකියි.
ජාතිවාදී හා ආගම්වාදී ස්ථාවරයේ සිට මේ ප්‍රශ්න විසඳීමට හැකියාවක් නැහැ. රට බෙදනවා. වෙනම රාජ්‍යයක් අවශ්‍යයි. රට නැති වෙනවා. ආදී කතා කියමින් ප්‍රශ්න විසඳන්නටත් හැකියාවක් නැහැ. අප සියලූදෙනා එක්වී ඒ වැඩකටයුත්ත කළ යුතුයි. දීර්ඝ කාලීන සාමය හා සංහිදියාව සඳහා වන දේශපාලන විසඳුමක් ජනතාව අපෙන් බලාපොරොත්තු වෙනවා. එමෙන්ම සාධාරණ බලය බෙදීමේ වැඩසටහනක් ද බලාපොරොත්තු වෙනවා. ජනතාව වගකියන මහජන නියෝජිතයින් සහිත ආණ්ඩුවක් ජනතාවගේ අපේක්‍ෂාවයි. රටට ක්‍රියාකාරී පාර්ලිමේන්තුවක් අවශ්‍යයි.
සිංහල, දෙමළ, මුස්ලිම් අන්තවාදයෙන් ඉදිරියට යන්නට බැහැ. ආගම්වාදයෙන් ඉදිරියට යන්නට බැහැ. ඕනෑම කෙනෙකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කළ හැකියි. නමුත් එම අදහස් ප්‍රකාශ කිරීමේ මුවාවෙන් තවත් අයට හිරිහැර කරනවා නම් මෙරට ජාතිභේද, ආගම්භේද ඇති කරන්නට යනවා නම් ඔවුන්ට විරුද්ධව ආණ්ඩුව නීතිය අනුව ක්‍රියාත්මක කරන බව මා මෙහිදී අවධාරණය කරනවා.
මෙරට බහුතර ජනතාවක් එක්ව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් කළේ මෙරට ප්‍රශ්නවලට ස්ථීර විසඳුමක් අවශ්‍ය නිසයි. මැතිවරණයේදී ඡන්දය දුන් අය මෙන්ම නොදුන් අයත් දැන් ඒ විසඳුම බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ලෝකයත් එම විසඳුම බලාපොරොත්තු වෙනවා. කකුලෙන් අදිමින් එම විසඳුම පමාකිරීමට කිසිවෙකුට අයිතියක් නැහැ. එක්සත් ජාතික පක්‍ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයින්ද මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපතිතුමාත්, මමත්, විපක්‍ෂනායකතුමාත් මේ ගැන සාකච්ඡා කර තිබෙනවා. විපක්‍ෂයේ සෙසු පක්‍ෂ සමගත් සාකච්ඡා කිරීමට අප සූදානම්.
දේශපාලන විසඳුම වෙනුවෙන් කැපවී ඊළඟ මාස කිහිපයේදී රටට හොඳ වාර්තාවක් ලබාදීම හොඳ ව්‍යවස්ථාවක් නිර්මාණය කර අනුමත කරගැනීම අපේ අරමුණයි. නව ව්‍යවස්ථාව පැමිණි විට සංවර්ධනය තවත් වේගවත් වෙනවා. ඒ වෙනුවෙන් අප සියලූදෙනා භේද අතහැර කැපවෙමු. මෙහි ආරාධනා කිරීම සම්බන්ධයෙන් විශේෂ ස්තතූතිය පුදකරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *