ඉදිරි වසර කිහිපයේ දී අපනයන ආර්ථිකයක් බිහිකරනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි වසර කිහිපය තුළ මෙරට ආර්ථිකය මුළුමණින්ම අපනයන ආර්ථිකයක් ලෙස පරිවර්තනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කඩවත රන්මුතුගල වත්ත ෆ්ලින්ත් කොමර්ෂල් පාර්ක්හි ෆ්ලේක්සිප්‍රින්ට් නව කර්මාන්තශාලාව විවෘත කිරීම වෙනුවෙන් ඊයේ(24) පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

ලබා ගත් ණය ගෙවා දැමීමට නොහැකි කියා බලා නොසිට අපනයන ආර්ථිකයක් රට තුළ ඇති කර ඒ තුළින් රැකියා වෙළඳ පොළක් බිහි කර ආර්ථික වශයෙන් ඉදිරියට යෑමේ වගකීම රටක් ලෙස අද වන විට රජය බාර ගෙන ඇති බව ද අගමැතිවරයා මෙහිදී කියා සිටියේ ය.

ලොව ධනවත්ම වෙළෙඳ පොළ ඇත්තේ යුරෝපයේ බව සඳහන් කළ වික්‍රමසිංහ මහතා කියා සිටියේ යුරෝපයේ වෙළෙඳ පොළට ඇතුළුවීමෙන් ශ්‍රී ලංකාවටද තරඟකාරී වෙළෙඳ පොළක් ගොඩනගා ගත හැකි බවයි. ඒ අනුව නිෂ්පාදනය ඉහළ දමා ආදායම වැඩි කර ගනිමින් තරඟකාරී වෙළෙඳ පොළට ඇතුළු වන ලෙස හෙතෙම අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

“ඇඟළුම් කර්මාන්තය, රබර් ටයර් කර්මාන්තය, ධීවර කර්මාන්තය මෙන්ම අලුත් කර්මාන්ත ගැනත් අපි අවධානය යොමු කරන්න ඕනේ. මොකද අපි අපනයන ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටින බව සියළුම නිෂ්පාදකයන්ට අපි මතක් කරන්න අවශ්‍යයි. ලාභය උදෙසා පමණක් භාණ්ඩ ගෙනවිත් මෙරට වෙළෙඳ පොළේ අලෙවි කිරීමට එරෙහිව නීති සම්පාදනය කරනවා. අපනයන වෙළෙඳ පොළට ගමන් කරනවා නම් නව යන්ත්‍ර මිලදී ගැනීම සඳහා රුපියල් කෝටියක් වියදම් කරන අයටත් බදු සහන ලබා දෙනවා. ඊළඟ වසර පහ ඇතුළත ක්‍රමානුකූලව අපනයන ආර්ථිකයක් ඇති රටක් බවට පත් කරනවා.

ලෝකයේ විශාලම වෙළෙඳ පොළ ඇති රට චීනයයි. ඔවුන් ඒ කර්මාන්ත දේශීය වෙළෙඳ පොළට සීමා කළේ නැහැ. ඔවුන් අපනයන කර්මාන්තය තුළින් වෙළෙඳ පොළ අල්ලා ගත්තා. ජපානය, කොරියාව, සිංගප්පුරුව වගේ රටවලුත් ඒ ක්‍රමවේදය අනුගමනය කළා. ලෝක වෙළෙඳ පොළ අල්ලා ගත් පසු හොඳ රැකියා, හොඳ වේතන ලබා දීමට ශක්තිය ලැබෙනවා.

GSP සහනය ලැබුණේ යහපාලන ආණ්ඩුව නිසයි. එහෙම නැතිව කවුරුවත් මෙය බන්දේසියක තියලා දුන්නේ නැහැ. පරිවර්තනයක් සඳහා වසර තුන හතරක් යන තුරු සහන ලබා දෙන්නම්. ඊළඟ වසර දෙකේදී අපි ඉලක්ක වෙත ගමන් කළ යුතුයි. දේශීය කර්මාන්ත ශාලාවලට අමතරව අපි විදෙස් ආයෝජනවලටත් ආරාධනා කරනවා.”

මේ අනුව මෙරට තරුණ තරුණියන්ට රැකියා ලබා දීම සඳහා දෙස් විදෙස් ආයෝකයන් එක්ව කටයුතු කිරීම වැදගත් බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *