සතොස විකුණන්නේ නැහැ – ඇමති රිෂාඩ් බදියුදීන්

(කොළඹ, ලංකාපුවත්) – හේමාස් හෝ වෙනත් කිසිදු පුද්ගලික ආයතනයකට සතොස ආයතනය කිසිවිටෙකත් නොවිකුණන අතර සතොස ශාකා ජාලය පුළුල් කිරීමට සහ එහි සංවර්ධන කටයුතු වෙනුවෙන් පසුගිය වර්ෂයේ රුපියල් මිලියන 1100 ක් තම අමාත්‍යාංශය වැය කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සතොස සහ හේමාස් ආයතනය එක්ව සංවිධානය කර තිබූ “සතොස ට එන්න කාර් එකෙන් යන්න” යන ප්‍රවර්ධන ප්‍රවර්ධන වැඩසටහනේ දී ජයග්‍රහණය කළ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රධානය කිරීම සඳහා පැවැති උත්සවයක දීය. මෙම උත්සවය කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේ දී ඊයේ (24) පැවැත්විණි. මෙහි පළමු ත්‍යාගය ලෙස වටිනා මරුටි ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් පිරිනැමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා,
“ලංකා සතොස ආයතනය ලංකාවේ විශාලතම රාජ්‍ය සිල්ලර වෙළෙඳසැල් ජාලයයි. අපගේ ලාංකික පාරිභෝගික ජනතාවට සහනදායී මිලට, ගුණාත්මක භාවයෙන් ඉහළ භාණ්ඩ ලබා දීම සඳහා ලංකා සතොස ආයතනය කටයුතු කරනවා. ලාංකික පාරිභෝගිකයන්ට ගුණාත්මක භාවයෙන් ඉහළ භාණ්ඩ අඩු ම මිලට ලබා ගන්න පුළුවන් පහසුම ස්ථානය සතොස යි.”

“ලංකා සතොස ආයතනයේ මූලික අරමුණ වන්නේ තරඟකාරී වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයා තෘප්තිමත් කිරීමයි. වර්තමානය වන විට ලංකා සතොස ආයතනයේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 30 ක් පමණ වනවා. මම මේ ආයතනය බාර ගන්නා විට 300ක් වූ සතොස ශාඛා ප්‍රමාණය, වර්ථමානය වන විට 377ක් දක්වා වැඩි කිරීමට හැකි වුණා. පසුගිය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාරිභෝගික සතියක් සතොස ආයතනය විසින් ක්‍රියාත්මක කළ අතර, එහිදී අපගේ ශාඛා ප්‍රමාණය තවත් 50 කින් වැඩි කිරීමට හැකියාව ලැබුණා. මෙම වසර අවසන් වන විට සතොස ශාඛා 500ක් දක්වා වැඩි කිරීමට අප අමාත්‍යාංශය කටයුතු කරනවා. මීට අමතරව සතොස වරලත් අලෙවිසැල් 8000 ක් විවෘත කිරීමට සැළසුම් කර තිබෙනවා. එමගින් අප පාරිභෝගික පදනම තව දුරටත් වැඩි කිරීමට හැකියාව ලැබෙනවා.”

“අපගේ සතොස ශාඛා ජාලය නවීන පහසුකම්වලින් සමන්විත සුපිරි වෙළෙඳසැළ් ජාලයක් ලෙස පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ නියමු ව්‍යාපෘතියක් ලෙස වැලිසර මෙගා සතොස ශාඛාව නුදුරු දිනයක දී විවෘත කරනවා. පසුගිය වසරේ අප රුපියල් මිලියන 1100ක මුදලක් සතොස ශාකා ජාලය පුළුල් කිරීම සඳහාත් එහි සංවර්ධන කටයුතු සඳහාත් වියදම් කර තිබෙනවා. හේමාස් වැනි ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් සමග එක්ව පවත්වන මෙවැනි ප්‍රවර්ධන වැඩසටහන් මගින් විශාල පාරිභෝගික පිරිසක් සතොස තුළ රඳවා ගැනීමට අවස්ථාව ලැබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *