ආපදා තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ලොව ප්‍රධාන පෙළේ රටවල් රැසක් ඉදිරිපත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – උද්ගතව ඇති ආපදා තත්ත්වය හමුවේ මෙරටට සහාය දැක්වීමට ලොව ප්‍රබල රටවල් රැසක් ඉදිරිපත්ව සිටියි. එම රටවල තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් මේ බව අමාත්‍ය රවී කරුණානායක මහතාට දැනුම් දී ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය හා බ්‍රිතාන්‍ය යන රටවල තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවිය. විදේශ කටයුතු අමාත්‍යාංශයේදී හමුව පැවැත්වුණි.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මෙහිදී සඳහන් කළේ ආපදා තත්ත්වය හමුවේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාවට සහාය දීමට ජපානය සූදානම් බවය. පානීය ජල පෙරණ හා විදුලි උත්පාදක යන්ත්‍ර කඩිනමින් ආපදාවට ලක්වූ ප්‍රදේශවලට ලබා දීමට පියවර ගන්නා බව ද තානාපතිවරයා සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා රජය ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක පූර්ණ සහාය ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති අතුල් කේෂප් , අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවේ කියාසිටියාය. ඇති වූ ආපදා තත්ත්වයෙන් මිය ගිය ජනතාව වෙනුවෙන් ඇමෙරිකාවේ ශෝකය පළ කරන බව ද තානාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩොරිස් කියාසිටියේ ආපදා තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට බ්‍රිතාන්‍ය සූදානම් බවය.

සාර්ක් සංවිධානයේ මහලේකම් අම්ජඩ් හුසෙයින් බී සායිල් ද අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවිය. ආපදා අවස්ථාවේ තමන් ද ශ්‍රී ලංකාව සමග සිටින බවත් ජීවිත හානි වූ ජනතාව වෙනුවෙන් තම ශෝකය පළ කරන බවත් මහලේකම්වරයා කියාසිට ඇත.

මෙවන් අවස්ථාවක ශ්‍රී ලංකාවට සහාය වීමට මෙම රටවල් ඉදිරිපත්වීම සතුටට කරුණක් බව අමාත්‍ය රවී කරුණානායක මහතා මේ අවස්ථාවේ දී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *