රටවල් 3 ක නෞකා 7 ක් ආපදා සහන සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

(කොළඹ, ලංකාපුවත්) – 2003 වර්ෂයෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ගංවතුර තත්ත්වය හමුවේ රටවල් 3 කට අයත් නෞකා 7 ක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ අනුව අසල්වාසී රාජ්‍යයන් වන ඉන්දියාව සහ පාකිස්තානයත්, ඊට අමතරව චීනය යන රටවල් වලට අයත් නාවික නෞකාවන් මෙරටට සහන සැළසීම සඳහා පැමිණ ඇත. මේවායින් ඇතැම් නෞකාවන් වෙනත් මෙහෙයුම් වල නිරත වෙමින් සිටියදී ශ්‍රී ලංකාව වෙත පැමිණීම සුවිශේෂී කරුණකි.

උද්ගත වූ ආපදා තත්ත්වය හමුවේ කඩිනම් ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු නාවික ‍හමුදාවට අයත් කර්ච්, ශර්දුල් සහ ජලෂ්වා යන නෞකාවන් පිළිවෙලින් මැයි 27, 28 සහ 30 යන දිනයන් හිදී කොළඹ වරායට සේන්දු විය. එම නෞකාවලින් පැමිණි වෛද්‍ය, ජීවිතාරක්ෂක සහ කිමිදුම් යන සහන කණ්ඩායම් ශ්‍රී ලංකා නාවික හමුදාව සමග ඒකාබද්ධ වෙමින් විපතට පත්වූ දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සහන සැළසීමේ කටයුතු වල නිරත විය. මීට අමතරව ගංවතුර පැවති ප්‍රදේශ වල සහන සැළසීමේ කටයුතු සඳහා කුඩා යාත්‍රා, වියළි සළාක, පානීය ජලය සහ ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් ද මෙම නෞකාවන් මගින් රැගෙනවිත් තිබිණි. මෙම නෞකා ත්‍රිත්වය අතරින් කර්ච් නෞකාව ඉන්දියානු දේශසීමා මුර සංචාරක කටයුතු වල නියැලෙමින් සිටියදී ශ්‍රී ලංකාවට ඇති වූ හදිසි ආපදා තත්ත්වය හමුවේ සහන සැලසීමේ අරමුණින් පැමිණ ඇත.

තවද, ශ්‍රී ලංකාවේ දිගු කාලීන මිතුරෙකු වන පාකිස්තානය ද පසුගිය මැයි මස 30 එරට නාවික හමුදාවට අයත් සුල්ෆිකර් නෞකාව අයහපත් කාලගුණයෙන් පීඩා විදි ජනතාවට සහන සැළසීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට එවන ලදී. මෙම නෞකාව මගින් වෛද්‍ය කණ්ඩායම් 3 ක්, වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජල බෝතල් සහ ඖෂධ ඇතුළු සහනාධාර රැසක් ද රැගෙන එන ලදී.

එමෙන්ම, මේ වන විට මහජන චීන සමූහාන්ඩුවට අයත් නාවික නෞකා 3 ක්ද ඊයේ (31) කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකාවට බලපෑ අවධානම් තත්ත්වය හමුවේ මෙම නෞකාවන් සුහද සංචාරයක් සඳහා පැමිණෙමින් සිටියදී විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා සහනාධාර නෞකාවන් ලෙස දිවයිනට පැමිණ ඇත. ඒ අනුව වෛද්‍ය කණ්ඩායම් පහක් (5) සහ ආපදා සහන කටයුතු සඳහා කුඩා යාත්‍රා 10 ක්ද සමගින් චීන නාවික නෞකා ‘චෑන් චුන්’, ‘ජින් ශොව්’ සහ ‘චාඕ හු’ මෙසේ දිවයිනට සේන්දු විය.

තවද, ශ්‍රී ලංකා රජය විසින් ඕස්ට්‍රේලියානු රජයෙන් කළ ඉල්ලීමකට අනුව මුදවා ගැනීමේ සහ සෝදිසි කිරීමේ මෙහෙයුම් වේගවත් කිරීම සඳහා කුඩා යාත්‍රා, පිටත දහන යන්ත්‍ර සහ තවත් උපකරණ රාශියක් සැපයීමට ද කටයුතු කර තිබිණි.

මෙම හදිසි තත්ත්වය හමුවේ විදෙස් රටවල් ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම තුළින් ශ්‍රී ලංකාව අනෙකුත් රාජ්‍යයන් සමග පවත්නා බහුපාර්ශවීය සබඳතාවන්ගේ ශක්තිය මැනවින් පිළිබිඹු කරනු ලබයි. ශ්‍රී ලංකා නාවික හමුදාව ද විදෙස් නාවික හමුදාවන් සමග ශක්තිමත් සබඳතා පවත්වා ගැනීම තුළින් විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් මෙරටට අත්කර දීමට සමත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *