ශ්‍රී ලංකන් ඕස්ට්‍රේලියාව වෙත මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රීලංකන් ගෝලීය ගුවන් මාර්ග ජාලයට මෙල්බර්න් එක්වෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම වන්වර්ල්ඩ් ගුවන් සේවා සන්ධානයේ සාමාජිකයකු ලෙස මේ වසරේ ඔක්තෝබර් මස 29 වනදා සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙත නොනවත්වා දෛනික ගුවන් ගමන් මෙහෙයුම් ස්ථාපිත කිරීමට කටයුතු යොදා තිබේ.

ඕස්ට්‍රේලියාවේ උයන්පිරි ප්‍රාන්තය නම් වූ (Garden State) වූ වික්ටෝරියා හි මෙල්බර්න් නගරයේ සහ ඒ අවට විශාල ශ්‍රී ලාංකික ජනගහනයක් වාසය කරනු ලබයි. ව්‍යාපාරික සංචාර මෙන්ම වික්ටෝරියා හි වේගයෙන් වර්ධනය වන ශිෂ්‍ය ජනගහනය, මෙල්බර්න් වෙත නොනවත්වා දෛනික ගුවන් ගමන් ආරම්භ කිරීමේ ගුවන් සමාගමේ සැලසුම් සඳහා හේතු සාධක වී ඇත.

මේ නොනවත්වා සිදුකරන ගුවන් ගමන් මඟින් මැද පෙරදිග හා දකුණු ආසියාවේ ගුවන් මගීන්ට කොළඹ හරහා මෙල්බර්න් වෙත හෝ එහි සිට පහසු ගුවන් සබඳතා පැවැත්වීමේ අවස්ථාව හිමිවේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා සඳහන් කළේ ‘ඕස්ට්‍රේලියාව වෙත මෙහෙයුම් ආරම්භ කිරීම මගින් අප රටවල් දෙක අතර පවතින දිගුකාලීන සබැඳියාව ශක්තිමත් කරනු ඇති බවයි. පසුගිය දා අප දෙරට අතර පවතින රාජතාන්ත්‍රින සබඳතා හි 70 වැනි සංවත්සරය සැමරූ අතර, ගුවන් සමාගමේ උපාය මාර්ගික ගුවන් ගමන් ජාල ව්‍යාප්ත කිරීමේ ප්‍රතිව්‍යුහගත සැලසුම්වලට අනුව මේ නව ගමනාන්තය එක් කිරීම සිදුකළ බව ද ඒ මහතා කියා සිටියේය . මෙමගින් තවත් මහද්වීපයක් ශ්‍රීලංකන් ගෝලීය ගුවන් ගමන් සිතියම වෙත එක්වනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය. අනෙක් අතට ජාතික ගුවන් සේවය වශයෙන් ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් වාසය කරන වික්ටෝරියා වෙත සෘජු ගුවන් ගමන් සිදුකරමින් ඔවුන්ට සිය නෑදෑ හිතමිතුරන් දැක ගැනීම සඳහා ගුවන් සංචාරක පහසුකම් මෙමඟින් සැපයීමට හැකිවීම පිළිබඳ ආඩම්බර වන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

මේ ගුවන් ගමන් සඳහා එයාර්බස් 330-200 ගුවන් යානා යොදා ගැනීමට නියමිත වන අතර, නවීන ගුවන් යානා අභ්‍යන්තර පහසුකම් සහිතව සම්මානලාභී සේවාවක් ලබාදෙමින් ශ්‍රීලංකන් උණුසුම් ආගන්තුක සත්කාරය ගුවන් මගීන්ට අත්විඳීමට හැකිවනු ඇත.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන වාණිජ නිලධාරී සිවා රාමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කර සිටියේ ‘ සෘජු ගුවන් ගමන් නොමැතිව වුවත් සිංගප්පූරුව සහ ක්වාලාලාම්පූර් හරහා ශ්‍රී ලංකාව සහ මෙල්බර්න් අතර ගුවන් සංචාර සඳහා වැඩි ඉල්ලුමක් ඇති බව ගුවන් සමාගම විසින් නිරීක්ෂණය කර ඇති බවයි. වෙනත් කිසිදු ගුවන් සේවයක් විසින් ලබාදීමට නොහැකි කොළඹ සිට සෘජු ගුවන් ගමන් ශ්‍රීලංකන් විසින් ආරම්භ කිරීම ගුවන් මගීන්ට විශාල වාසිදායක තත්ත්වයක් උදාකර දෙනු නොඅනුමාන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. එසේම ගුවන් සමාගම කොළඹ සිට ඉන්දියානු උප මහද්වීපයේ මෙන්ම මැදපෙරදිග ගමනාන්ත රැසක් වෙත පහසු ගුවන් සබඳතා පවත්වන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ නව ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමඟ ශ්‍රීලංකන් ගුවන් මගීන්ට ඕස්ට්‍රේලියාවේ අනෙකුත් ගමනාන්ත වන සිඩ්නි, බ්‍රිස්බේන්, ඇඩිලේඩ් මෙන්ම නවසීලන්තයේ ඕක්ලන්ඩ් වෙත සංචාරය කිරීමට පහසු ගුවන් සබඳතා හිමිවන බවත් ගුවන් ගමන් ජාලය ව්‍යාප්ත කරමින් එහි ව්‍යාපාර වර්ධනය වැඩි කිරීම සඳහා ගුවන් සමාගම අඛණ්ඩව කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් වන බ්‍රයිස් හච්චෙසන් මහතා (Mr. Bryce Hutchesson) ප්‍රකාශ කර සිටියේ ‘ඕස්ට්‍රේලියාව වෙත සෘජු ගුවන් ගමන් ආරම්භ කරමින් මේ නවතම ගමනාන්තය එක් කිරීම පිළිබඳව තමන් ශ්‍රීලංකන් වෙත සුභාශිංසන එක්කර සිටින බවයි. මේ සෘජු ගුවන් ගමන් තුළින් දෙරට අතර සංචාරක කර්මාන්ත, ව්‍යාපාර, වෙළෙඳාම මෙන්ම පුද්ගල- පුද්ගල සබඳතා තුළින් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරනු ඇති බව ද ඒ මහතා කියා සිටියේය. ඕස්ට්‍රේලියානු ජාතිකයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාව වෙත සංචාරක කටයුතු මෙන්ම ව්‍යාපාර සඳහා ද පවුලේ සාමාජිකයන් හා එක්වීමට ද සංචාරය කරනු ලබන බව ද ඔහු කියා සිටියේය. ඕස්ට්‍රේලියාව වෙත අධයාපනය, ව්‍යාපාර මෙන්ම එහි සංස්කෘතිය සහ ස්වාභාවික සුන්දරත්වය අත්විඳීමට සහ සිය පවුලේ හිතවතුන් සහ මිතුරන් හමුවීමට පැමිණෙන විශාල ශ්‍රී ලාංකික සංචාරකයන් ඕස්ට්‍රේලියාව වෙත සාදරයෙන් පිළිගන්නා බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *