පාහියංගල ලෙන නායයාමේ අවදානමක

(කොළඹ, ලංකාපුවත්) – බුලත්සිංහල පාහියංගල ලෙන නායයාමේ අවදානමකට ලක්ව ඇති බවත් මේ වන විට මීටර 25ක පමණ ප්‍රදේශයක් ඉරිතලා ගොස් ඇති බවටත් තොරතුරු වාර්තාවේ.

පුරාවිද්‍යා වටිනාකමින් යුත් පාහියංගල ලෙන තුළින් ආදි මානව ජනාවාස පිළිබඳ ඓතිහාසික තොරතුරු රැසක් හෙළිව ඇත. නූතන මානවයාගේ පැරණිතම ඇටසැකිල්ල ද හමුවී ඇත්තේ මෙම ස්ථානයෙනි.

ලෙන ආශ්‍රිත ප්‍රදේශයේ කොටසක් ඉරිතැලීමට ද ලක්ව තිබේ. පාහියංගල ලෙන යාබඳ ජයලත්ගොඩ කන්ද ද පසුගිය සතියේ නායයාමට ලක්විය.

මෙම ඓතිහාසික ස්ථානය රැකගත යුතු බව පාහියංගල ඓතිහාසික රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය යටගම්පිටියේ චන්දිම ස්වාමීන්වහන්සේ අවධාරණය කළේය.

මේ අතර බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් එස් කේ හේනාධීර මහතා කියා සිටියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග එක්ව පාහියංගල සංරක්‍ෂණය සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවෙය.

මෙම ඓතිහාසික පාහියංගල ගල්ලෙන නායයාමට ලක්වුවහොත් වසර 30,000කට වඩා ඉපැරණි දකුණු ආසියාවේ ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස පිළිබඳ තොරතුරු ද වැළලී යනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *