ආපදාවට ලක්වූ ප‍්‍රදේශවල කසළ ඉවත් කිරීම විධිමත් කරන්න – ජනපතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ගංවතුරෙන් සහ නායයාමෙන් ආපදාවට ලක්වූ ප‍්‍රදේශවල කසළ ඉවත් කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡුාවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.

කසළ කළමනාකරණය පිළිබඳ නව නීති හඳුන්වාදෙමින් කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල ක්‍රියාත්මක කර තිබෙන කසළ කළමනාකරණ වැඩසටහන්වල ප‍්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා නිලධාරින්ගෙන් කරුණු විමසීය.

එම වැඩපිළිවෙළේදී රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

එමෙන්ම ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය අවම කිරීමේ ගැසට් පත‍්‍රයේ ඉදිරි කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර කසළ වර්ගීකරණය පිළිබඳ නිලධාරින් පුහුණු කිරීම මෙන්ම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්වල අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

එහිදී පාසල් දරුවන් දැනුවත් කිරීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය හරහා විශේෂ වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමට ද අවධානය යොමු වූ අතර කසළ කළමනාකරණය පිළිබඳ පළාත් පාලන සහකාර කොමසාරිස්වරු සහ පළාත් පාලන ලේකම්වරු දැනුවත් කිරීමේ සහ ප‍්‍රගතිය ඉහළ නැංවීමේ වැඩමුළු පැවැත්වීමට ද ජනාධිපතිතුමා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දුන්නේය.

අමාත්‍යවරුන් වන මංගල සමරවීර, ගාමිනි ජයවික‍්‍රම පෙරේරා, අනුර ප්‍රියදර්ශන යාපා, ෆයිසර් මුස්තාෆා, ගයන්ත කරුණාතිලක, සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් යන මහත්වරුන් ද අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *