ගායන ශිල්පි ප්‍රින්ස් උදය ප්‍රියන්ත අවසන් කටයුතු ලබන ඉරිදා

(කොළඹ, ලංකාපුවත්) – මෙරට මහත් ජනාදාරයට පත්, ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා ඊයේ (08) අභාවප්‍රාප්ත විය. දීර්ඝ කාලයක් තිස්සේ අසනීප තත්ත්වයෙන් පසුවූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 47කි.

90 දශකයේ ලාංකීය තුරුණු හදවත් ප්‍රේමණීය ගී ස්වරයෙන් මුසපත් කළ ප්‍රින්ස් උදය ප්‍රියන්ත 1970 වසරේ ජුනි 13 වන දා ගාල්ල ඇල්පිටියේදී උපත ලැබී ය.

ඇල්පිටිය ආනන්ද විද්‍යාලයෙන් අකුරු කළ ප්‍රින්ස්, පාසල් සමයේ පටන් ගායකයකු වීමේ සිහිනය සැබෑ කර ගන්නේ ජාතික තරුණ සේවා සභාව හරහා ය.

‘සුදු මල් පොකුරක්‌”, ”පෙම්වතුන් සිනාසේ අප කඳුළු සලන්නේ”, ”වෙරළ කොනක හිඳ”, ”සඳ රේණු වෑහෙනා”, ”ඔබ පෑ පෙම් සිනා”, ”සමුගන්න සමුදෙන්න නම්”, ”සීගිරියේ කුරුටු ගීත ලස්‌සනයි”, ”සඳ කුමාරියක්‌ දීගෙක යනවා” ඇතුළු ජනප්‍රිය ගීත රැසක්‌ ගායනා කර ඇති ප්‍රින්ස්‌ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පියෙක්‌ විය.

ප්‍රින්ස්‌ උදය ප්‍රියන්ත මහතා සිය ජීවිතයේ අවසන් කාලයේ තම නැගණිය වන ශිරෝනි ප්‍රියංගිකා මහත්මියගේ දැඩි රැකවරණය මැද ජීවත් විය. අසනීප තත්ත්වයෙන් පසු වූ ප්‍රින්ස්‌ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර බේරාගැනීමට ඇය දැඩි උත්සාහයක්‌ ගත්තාය.

ප්‍රින්ස්‌ උදය ප්‍රියන්ත මහතාගේ අවසන් කටයුතු ලබන ඉරිදා (11) ඇල්පිටියේ දී සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *