අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජයෙන් වැදගත් පියවර රැසක්

(කොළඹ, ලංකාපුවත්) – අධිකරණය සහ නීතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම උදෙසා වත්මන් රජය වැදගත් පියවර රැසක් ක්‍රියාත්මක කර ඇති බව ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා සදහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ 2015 වසරේ ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් අනතුරුව මෙරට නීති පද්ධතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.

35 වන ජිනිවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ඊයේ(12) දින ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රවිනාථ ආරියසිංහ මහතා මෙම අදහස් පළ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතවරියක් වන මොනිකා පින්ටෝ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට පසුගියදා වාර්තාවක් ඉදිරිපත් කළේය.

මොනිකා පින්ටෝ 2016 වසරේ අප්‍රේල් 29වනදා සිට මැයි 07වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වු අතර එහිදි ඇය විසින් ශ්‍රී ලංකාවේ නීතිය සහ අධිකරණ පද්ධතිය පිළිබදව සිදුකළ විමර්ශන සම්බන්ධයෙන් වු වාර්තාවක් මෙලෙස ඉදිරිපත් කළ බව මානව හිමිකම් කොමිසම පැවසීය.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රවිනාත ආරියසිංහ මහතා පෙන්වා දී ඇත්තේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ප්‍රගතිශීලි ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදුකර ඇති බවය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නා බව ද රවිනාථ ආරියසිංහ මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *