ඔබාමා අවුරුදු අටක් ඇන්දේ එකම කබායයි-මිෂෙල් ඔබාමා

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපති බරක් ඔබාමා බලයේ සිටි අවුරුදු අටක කාලය පුරා රාත්‍රි භෝජන සංග්‍රහ සඳහා අඳින ලද්දේ එකම උඩ කබායක්( tuxedo) බව ඔහුගේ බිරිඳ මිෂෙල් ඔබාමා හෙළි කරයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා හැටියට කටයුතු කළ නිල කාල පරිච්ඡේද දෙක තුළ සියලු නිල උත්සව සඳහා සැරසුණ එම උඩු කබායට තම සැමියා බෙහෙවින් ඇලුම් කළ බවත් මිෂෙල් ඔබාමා පවසන්නීය.

ඒ ඒ අවස්ථා සඳහා සැරසිය යුතු ඇඳුම් සම්බන්ධයෙන් හොඳ අවබෝධයකින් කටයුතු කළ ජනාධිපති ඔබාමා 1960 දශකයේ මුල් භාගයේ බලයේ සිටි ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගෙන් පසු ඉතා පිළිවෙළට අඳින ලද ජනාධිපතිවරයා ලෙසද සැලකෙයි.

නිල උත්සව වලදී කළු පැහැති පහසු ඇඳුම් කට්ටලයකින් සැරසෙන ජනාධිපති බරක් ඔබාමා විවේක අවස්ථාවන්හිදී ඔහු ඉතා ආශා කළ තවත් ඇඳුම් විලාසිතාවක් වන “Mom jeans” කලිසමෙන් ද සැරසෙයි.

“Mom jeans” යනු 1980 සහ 1990 දශකයන්හි කාන්තා කලිසමක් සෝපාහාසත්කමව හැඳින්වීමට නිර්මාණය කෙරුණ යෙදුමකි.

එම විලාසිතා ගණයට වැටෙන පිරිමි කලිසම (Dad Jeans ) ඉතා පහසු සැහැල්ලු ඇඳුමකි.
ඇඳුම් පිළිබඳව තමා හැම මොතොතකම බෙහෙවින් සැලකිලිමත් වෙන නමුත් සිය සැමියා ධවල මන්දිරයේ ගත කළ නිල කාල දෙක පුරාම එකම කබායකින් උත්සව සඳහා සහභාගී වූ බව ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු පළමු කාන්තාව සඳහන් කරයි.

“බලන්න ! මහජනයා මම අඳින සපත්තු, මාල සහ වළලු ආදියේ පින්තූර ගන්නවා. ඒත් මගේ ස්වාමි පුරුෂයා අවුරුදු අටක්ම ඇන්ඳ සපත්තු දෙක සහ කෝට් එක ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ” මිෂෙල් ඔබාමා පවසන්නීය.

“හරිම අසාධාරණයි! ඔබ ෆ්‍රෙඩ් ඇස්ටෙයාර් (Fred Astaire) ගැන ජින්ජර් රොජර්ස් (Ginger Rogers) ගැන කතා කරනවා. අපි මොනවා කළත්,ඔහු ඇන්දේ එකම කබායයි” පසුගිය අඟහරුවාදා (06) සමුළුවකට සහභාගී වූ ඇය සඳහන් කළාය.

බරක් ඔබාමා තුළ දක්නට ඇති රසිකත්වය කෙසේවුවද, ඔහු ඇඳුම් සඳහා අඩු කාලයක් සහ උනන්දුවක් දැක්වූ බව දැන් හෙළිදරව් වෙයි.
උපුටා ගැනීම – බීබීසී සිංහල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *