ශ‍්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක සහය දීමට සූදානම් – පාකිස්ථාන නාවික හමුදාපති

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්ථානයේ දීර්ඝ කාලීන මිතුරෙකු වන ශ‍්‍රී ලංකාවේ නාවික කටයුතුවලට ඕනෑම අවස්ථාවක පාකිස්ථානයේ සහය ලබාදීමට සූදානමින් සිටින බව පාකිස්ථාන නාවික හමුදාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පොරොන්දු විය.

ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත පාකිස්ථාන නාවික හමුදාපති අද්මිරාල් මොහොමඞ් සකාඋල්ලා මහතා ඊයේ (13) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පවතින ආරක්ෂක සබඳතා මෙන්ම දෙරටේ දීර්ඝ කාලීන දේශපාලන සහ සංස්කෘතික සබඳතා පිළිබඳව ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළේය. එමෙන්ම පසුගිය දිනවල ශ‍්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීමට ද්‍රව්‍යමය ආධාර සහ වෛද්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් පාකිස්ථාන රජයට ස්තූතිය පළ කිරීමට ද ජනාධිපතිතුමා මෙය අවස්ථාවක් කර ගත්තේය.

ශ‍්‍රි ලංකාවේ නාවික හමුදාවට පාකිස්ථානය විසින් ලබාදෙන පුහුණු අවස්ථා තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ද පාකිස්ථාන නාවික හමුදාපතිවරයා මෙහිදී කියා සිටියේය.

මේ අවස්ථාව සිහිපත් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

මෙම හමුවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ශ‍්‍රී ලංකාවේ පාකිස්ථාන වැඩ බලන මහකොමසාරිස් ආචාර්ය සෆ්රාස් අහමඞ් කාන් සිප්රා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *