GSP+ පිළිබඳ හිටපු ජනපති කළ ප්‍රකාශය පිළිබඳ ඇමති මංගලගෙන් පැහැදිලි කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකිකයන් ධෛර්යය සම්පන්න ජාතියක් බව පෙන්වීම සඳහා ලෝක ව්‍යාප්ත සංවාදයන් තුළ කිසිවක් සැඟවීමට අපට අවශ්‍ය නැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම සම්පූර්ණ නිවේදනය පහත සඳහන් වේ.

” කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විසින් ජී.එස්.පී. ප්ලස් සහනය සම්බන්ධයෙන් මෑතකදී නිකුත් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයයි.

2009 වසරේ අප රටේ යුද්ධය අවසන් වූ වහාම රට සංවර්ධනය කරා ඉහළට ඔසවා තැබීම සඳහා කටයුතු කිරීමට අවස්ථාව තිබියදී ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ උපදේශකවරු මේ රට ප්‍රපාතය කරා තල්ලු කිරීමට කටයුතු ආරම්භ කළහ. එක් පැත්තකින්, ඉතා අසාධාරණ ලෙස ඉහළ වානිඡ පොලියට විදේශයන්ගෙන් මුදල් ණයට ලබාගෙන, රට විශාල ණය උගුලකට ඇද දැමූ අතර, අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකාව හා රටේ ජනතාව ජාත්‍යන්තරයෙන් හුදකලා කිරීමට මග සැලසීය. එමෙන්ම, ඔවුන් විසින් ගනු ලැබූ තීරණයන් හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයෙන්ද දුරස් කරනු ලැබීය. ජාත්‍යන්තර මූල්‍ය ආයතනයන් සමඟ වූ ගනුදෙනුවල දී ශ්‍රී ලංකාවට ආධාර දෙන ප්‍රධාන රටවල් බොහොමයක් විවිධ අවස්ථාවන්හි ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය පාවිච්චි කළ අවස්ථාවන් පිළිබඳ තොරතුරු ඔහු රටට වසන් කළේය.
තම ධූරකාලය අවසන් වීමට තවත් කල් තිබියදීත් ඔහු විසින්ම කැඳවන ලද ජනාධිපතිවරණයෙන් අවසානයේදී පරාජය වීමෙන් පසුව, එම පරාජය පිළිගැනීමට හා දරාගැනීමට නොහැකි තත්ත්වයක ඔහු තවමත් පසුවන බව පෙනේ.
බලය සඳහා තිබෙන කෑදරකම හේතුකොටගෙන මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ උපදේශකවරු, ඔහුගේ පෞද්ගලික ස්වභාවය මෙන්ම ඔහුගේ රාජ්‍ය පාලනයේ අංගයක් වූ ව්‍යාඡත්වය, වංචාව සහ කපටිකම් සුපුරුදු පරිදි මේවනවිටත් ක්‍රියාවෙහි යොදවමින් සිටිති. මෑතදී, ඔහු ජපානයට ගිය සංචාරය සම්බන්ධයෙන් ජනතාව මුලාකළේ කෙසේදැයි අප දුටුවෙමු. තමා ජපානයේ සංචාරය කරනුයේ එහි අධිරාජයාගේ ආරාධනයක් අනුව යැයි ඔහු විසින් පවසා තිබුණි. මාධ්‍යවේදියකු විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාවේ පිහිටි ජපාන තානාපති කාර්යාලය විසින් එම කරුණ ප්‍රතික්ෂේප කරන ලදී.
“රාජපක්ෂ මහතාණෙනි, ජනතාව රැවටීම සඳහා මෙවැනි ආකාරයට බොරු ප්‍රකාශ කිරීමට පෙළඹෙන්නේ ඇයි?”
“ඔබ මේ රටේ ජනතාවට නිරන්තරයෙන් කියාපෑමට උත්සාහ දරන්නේ, ඔබ බුදුන් වහන්සේගේ දහම සැබවින්ම අනුගමනය කරන අනුගාමිකයකුයැයි කියා නම්, අවම වශයෙන් පංච ශීලයේ සඳහන් සිල්පදවලින් එක් සිල්පදයක් හෝ ආරක්ෂා කරමින්, මේ රට හමුවේ සාවද්‍ය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතු නොවේද?”
“ ජී.එස්.පී. ප්ලස් සම්බන්ධයෙන් රජය යථාර්ථයක් නොවන අපේක්ෂාවන් ඇති නොකළ යුතුයි” යන ශීර්ෂය යටතේ රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වනුයේ, ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් වශයෙන් පත්වීමට ඉතා ආසන්න බැවින් ජී.එස්.පී. ප්ලස් පහසුකම් ලබාගැනීම ඉතා සුළු දෙයක් යැයි ප්‍රකාශකර තිබේ.
මෙහි ඇති ප්‍රධාන ප්‍රශ්නය ඔහු විසින් හිතාමතාම වසන් කර තිබේ. ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීමට රටක් තවදුරටත් යෝග්‍ය නොවීමට නම් එම රට, “ඉහළ ආදායම් ලබන රටක් ලෙස” වසර 03 ක් අඛණ්ඩව පැවති බව, ලෝක බැංකුව විසින් වර්ගීකරණය කළ යුතුය. ඒ අනුව, ඉහළ ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව හෙට දිනයේදී පත්වුවද, තවත් ඉදිරි වසර 03ක් සඳහා ජී.එස්.පී. සහනය ලබාගත හැකිය. එසේ නැතහොත්, ජී.එස්.පී. සහනයේ ප්‍රතිලාභ ලබාදීම ඉල්ලා අස්කර ගැනීමට තීරණයක් ගැනීමෙන් පසුව වුවද එය, තවත් ඉදිරි එක් වසරකට ක්‍රියාත්මක වේ. 2012 වසරේ ජී.එස්.පී. නියාමනයේ පරිච්ඡේද අංක 4(1) අනුව සිව් වසරක් තිස්සේ ජී.එස්.පී. සහනය ශ්‍රී ලංකාවට ලබාගැනීමට අපොහොසත් වූ මහින්ද රාජපක්ෂ මහතා, ජාතික සම්මුතිවාදී රජය විසින් එය ලබාගැනීමට සමත්වීම දරාගත නොහැකිව සත්‍යය විකෘති කිරීමේ කාර්යයන්වල නිරත වී සිටින බව මෙමගින් පැහැදිලි වේ.
මෙම කාලවකවානුව තුළ යුරෝපා ආර්ථිකයේ වර්ධනයේ සංඥාව පෙන්වීම ආරම්භ වී ඇත. රැකියා වියුක්තිය අඩු වෙමින්, පාරිභෝගික ඉල්ලුම වැඩිවී ඇති මෙම අවස්ථාවේ යුරෝපා හවුල සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ලද ජයග්‍රහණයකි.
නමුත්, මා එක් කරුණක් එකතු කිරීමට කැමැත්තෙමි. අප යුරෝපා හවුල සමඟ වඩාත් හොඳ ගනුදෙනුවක් අරඹයා අපේක්ෂා ඇතිකරගත යුතු නොවන බවට මහින්ද රාජපක්ෂ මහතා හේතු දක්වනුයේ, ඇතැම් විට අනාගතයේදී ආර්ථිකය අප රටේ සමස්ත ජනතාවට සුවිශාල වාසියක් අත්වන අයුරින් වර්ධනය වන නිසා විය යුතුය. මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීමෙන් හැඟියන්නේ, මහින්ද රාජපක්ෂ මහතාට මේ රටේ සමස්ත ජනයා පිළිබඳ කිසිදු සානුකම්පිත හැඟීමක් නොමැති බවය.
අපගේ ව්‍යවසායකයන් හා වැඩකරන ජනතාවගේ දක්ෂතාවය හා කැපවීම මත සාමාන්‍ය ආදායම් තත්ත්වය වැඩිකර ගැනීමට ලංකාවට අවස්ථාවක් ලබාගැනීම වරදක්ද? අපගේ ව්‍යවසායකයන් හා වැඩකරන ජනතාව තම යෝග්‍යතාවය අනුව වඩා හොඳ අවස්ථාවන් ඇතිකර ගැනීමට ඉඩ නොදී රජයක් වශයෙන් නිකරුනේ බලා සිටිය යුතුදැයි අපේක්ෂා කරන්නේද? අපගේ ජාතික ඉලක්කයන් ප්‍රමාදයකින් තොරව ළඟාකර ගැනීමට රජය මොවුන්ට අවස්ථා ලබාදිය යුතු නොවේද?
ජී.එස්.පී. සහනය හරහා ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ “අධීක්ෂණයට යටත් කරයි” යනුවෙන් ප්‍රකාශ කිරීම හාස්‍යජනක ය. ජගත් මානව හිමිකම් ප්‍රතිපත්තීන් ගණනාවක පාර්ශවකරුවන් වූවද උගත් පාඩම් හා සංහිඳියා කොමිසම වෙත තම අදහස් හා යෝජනා ඉදිරිපත් කළ ශ්‍රී ලාංකීය ජනතාව විසින් නිර්දේශ නොකරන ලද කිසිවක් අප විසින් ක්‍රියාත්මක කරන්නේ නැත. වධහිංසා පැමිණ වීමෙන් සියලු පුරවැසියන් ආරක්ෂා කිරීම අන්‍යයන් විසින් පනවන ලද නීතියක් නොව, එය මානව ජාතිය විසින් ඉතා පූජනීය වූ මානව සාරධර්ම ප්‍රතිපත්තීන් උදෙසා තමන්ගේම පුරවැසියන් ආරක්ෂා කිරීමේ පරමාධිපත්‍යයේ තීරණයකි.
තමන් ශ්‍රී ලංකාවේ බෞද්ධාගමික අනුගාමිකයෙක් පමණක් නොව එහි භාරකරුවෙක් යැයි කියාපාන මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ පුරවැසියන්ට මූලික මානව හිමිකම් ප්‍රතිපත්තීන්, අයිතිවාසිකම් හා නිදහස ලබාදීම වෙනුවෙන් පෙනී නොසිටීම ඛේදජනක ය. සුරක්ෂිතතාවයේ ප්‍රබල ප්‍රමිතීන් සඳහා හිමිකම් කීමට අපගේ ප්‍රජාවට අයිතිය අහිමි ද? මානව හිමිකම් හා මානව නිදහසේ ප්‍රබල ප්‍රමිතීන්ට හිමිකම් කීමට අපගේ පුරවැසියන්හට අයිතිවාසිකම් අහිමි ද?
රාජපක්ෂ මහතාගේ හා ඔහුගේ උපදේශකයන්ගේ අදක්ෂතාවය හා උද්දච්ඡ ස්වභාවය මෙරටේ ජනතාවට ඔවුන් සතු අයිතිවාසිකම් අහිමි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජී.එස්.පී. පහසුකම් ලබාගැනීමේ දී රාජපක්ෂ මහතා අසාර්ථක විය. අතුරුදහන් කිරීම් හා මානව හිමිකම් උල්ලංගණය කිරීමේ අවස්ථා විභාග කිරීමට, වධහිංසාවෙන් ජනතාව ආරක්ෂා කිරීමට ඔහු විසින්ම පත්කරන ලද උගත් පාඩම් හා සංහිඳියා කොමිසම විසින් 2011 වසරේදී කරන ලද නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට ඔහු වෙත උපදෙස් දෙන ලදී. සත්‍ය වශයෙන්ම එය ශ්‍රී ලංකාවේ නීතිගරුක හමුදා සෙබළුන්ට කරන ලද අසාධාරණයක්ද විය. ඔහු එසේ තම වගකීම් ඉටුනොකර අසමත් වීමෙන් පසුව වර්තමානයේ දී මෙම රජය රටේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රියාවට නැංවීමට උත්සහ දරන වැඩපිළිවෙළ විවේචනය කිරීම ද්වේශ සහගත ක්‍රියාවකි.
2010 වසරේදී ජී.එස්.පී. සහනය රඳවා ගැනීම සඳහා රාජපක්ෂ මහතා සහ ඔහුගේ උපදේශකයන් අන්තිම තත්පරය දක්වා උත්සාහ දැරූ ආකාරය පිළිබඳව මේ රජය හොඳින් දනියි. එම උත්සාහය ව්‍යාර්ථ වීමෙන් පසුව රටේ දේශපාලන, නෛතික හා ආනයනික රාමුවට ඇතිවන හානිය වළක්වාලීමේ අරමුණින් ජී.එස්.පී. පහසුකම් ලබා නොගැනීමට තමන් තීරණය කළායැයි බොරු පවසමින් ජනතාව රැවටීමට ලක් කළේය.
ඔහුට තවමත් එම බොරුවලින් මිදීමට නොහැකි වී ඇත. එහෙයින් වසර හතකට පසුව වුවද 2017 වසරේදී ද වෙනත් ආකාරයට, වෙනත් වචන භාවිත කරමින් ඔහු එම ව්‍යාජ ක්‍රමය අනුගමනය කරමින් සිටියි.
ජාත්‍යන්තර ප්‍රජාව සමඟ උරෙන් උර ගැටී ගෞරවාන්විත ජාතියක් ලෙස ජාත්‍යන්තරයේ දී පෙර ශ්‍රී ලංකාවට අහිමි වූ උචිත තත්ත්වය නැවත වාරයක් ලබාගැනීමට ජී.එස්.පී. සහනය හවුල්කාරී ක්‍රමවේදයක් ලෙස රජය සලකනු ලබයි. මෙම තත්ත්වය, පසුගිය පාලනය විසින් අපගේ රට හා ජනතාව නීචයන්ගේ තත්ත්වයට ඇද දැමූ අවස්ථාවෙන් මිදීමට ඉවහල් වනු ඇත. ශ්‍රී ලංකාවට මෙන්ම එහි ජනතාව ද ලොව හොඳම දෙය ලබාගැනීමට අයිතියක් ඇත.
අප රට තුළ නීති පද්ධතිය නිසි පරිදි බලාත්මක කරන විට, මේ රටේ ව්‍යවසායකයන් හා වැඩකරන ජනතාවගේ පරිශ්‍රමයන්හි ඵලදාව වෙනුවෙන් ලෝකයේ අන් රටවල මුහුදු තොටවල් විවෘතව, ප්‍රතිලාභ ලබද්දී එය දරාගැනීමට නොහැකිවූවෝ සම්බන්ධයෙන් අපට ඇත්තේ කණගාටුවක් පමණි.
ශ්‍රී ලංකාව මෙන්ම එහි ජනතාවටද ලෝකයේ අනෙක් ඕනෑම රටක් හෝ රටවල් සමූහයක් සමඟ සමසේ ආත්ම විශ්වාසයෙන් යුතුව කථාකිරීමට හා කටයුතු කිරීමට ද හැකි පෞඪ ජාතියකි. ශ්‍රී ලාංකිකයන් ධෛර්යය සම්පන්න ජාතියක් බව පෙන්වීම සඳහා ලෝක ව්‍යාප්ත සංවාදයන් තුළ කිසිවක් සැඟවීමට අපට අවශ්‍ය නැත. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *