ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනපති හමු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් ඊයේ(15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

පූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමින් වහන්සේ, පූජ්‍ය ආචාර්ය අකුරැටියේ නන්ද ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය නියෝජනය කරන මහා සංඝරත්නය මෙම හමුවට එක්ව සිටියහ.

බෞද්ධ බුද්ධි මණ්ඩලයේ කටයුතුවල මෙතෙක් ප‍්‍රගතිය සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර බෞද්ධ බුද්ධි මණ්ඩලයේදී ගනු ලබන තීන්දු තීරණ නිසි අයුරින් කි‍්‍රයාත්මකවීම පිළිබඳව ද මහා සංඝරත්නය ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පළ කළහ.

විශේෂයෙන් පසුගිය කාලය තුළ මෙරට පිරිවෙන් අධ්‍යාපනය ලබා ඇති ප‍්‍රගතිය මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

පිරිවෙන් ගුරුවරුන් සඳහා පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීමේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් සූදානම් කර තිබෙන අතර ඒ පිළිබඳවද මහා සංඝරත්නය ජනාධිපතිතුමා දැනුවත් කළහ.

එමෙන්ම බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ශී‍්‍ර ලංකාව තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවට ලක් වූ අතර ඒ සඳහා පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම උසස් අධ්‍යාපනායතනවල ඉගෙනුමට පැමිණෙන විදේශ සිසුන්ට වීසා ලබාදීම වැනි කරුණු පිළිබඳව ද අවධානය යොමු විය.

ආගමික අධ්‍යාපනය සඳහා ගුරුවරුන් බඳවා ගැනීම. බුද්ධ ජයන්ති ති‍්‍රපිටක ග‍්‍රන්ථ මාලා මහානායක හිමිවරුන්ගේ අනුමැතියෙන් පත් කළ විද්වත් මණ්ඩලයක් මගින් සෝදුපත් බලවා සංස්කරණය කොට අන්තර්ජාලයට මුදාහැරීම, පුස්කාළ පොත් සංරක්ෂණය, භික්ෂුණි අධ්‍යාපන ආයතන පිරිවෙන් ලෙස නඟා සිටුවීම සහ එහි ප‍්‍රමිතිය ඉහළ නැංවීම යන කරුණු පිළිබඳව ද සාකච්ඡාවට ලක් කෙරිණි.

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර යන මහත්වරුන් ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිළධාරින් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *