ප්ලාස්ටික් සහල් ගැන අසත්‍ය ප්‍රචාර ගෙන ගිය අය ගැන තොරතුරු CIDයට

(කොළඹ, ලංකාපුවත්) – ආනයනික සහල්වල කිසිදු ප්ලාස්ටික් ද්‍රව්‍යයක් හෝ විෂ රසායන ද්‍රව්‍යයක් නැති බවට පර්යේෂණවලින් තහවුරුවී ඇතැයි සතොස ආයතනය සහ පාරිභෝගික අධිකාරිය සදහන් කරයි.

එම ආයතනවල ප්‍රධානීන් ඊයේ(15) මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියාසිටියේය.

මෙවැනි බොරු ප්‍රචාර ගෙනගිය අයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන බවද එහිදී සදහන් කෙරුණි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා කියා සිටියේ වෙළෙදපොළට නිකුත් කර ඇති සහල් වර්ග පිළිබඳ කිසිඳු අනියත බියක් ඇතිකර නොගත යුතු බවය.

ආනයනික ප්ලාස්ටික් සහල් තොගයක් වෙළෙදපොළට නිකුත් වී ඇති බවට , ඇතැම් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මෙන්ම සමාජ ජාල වෙබ් අඩවි මගින් පසුගිය දිනවල ගෙනගිය ප්‍රචාරයෙන් සහල් පිළිබඳව රට තුළ යම් කැළඹීමක් ඇතිවිය.

හසිත තිලකරත්න මහතා සඳහන් කළේ, අදාළ පුවත සැලවූ විගසම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඒ ගැන සොයා බැලීමට පියවර ගත් බවය. ඒ අනූව, සෑම දිස්ත්‍රික්කයකම පිහිටුවා ඇති පාරිභෝගික අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලවල විමර්ශන නිලධාරීන් මගින් සහල් සාම්පල ලබාගෙන, ඒවා කාර්මික තාක්ෂණ ආයතනය වෙත යොමු කර විශේෂ විද්‍යාගාර පරීක්ෂණයකට බඳුන් කෙරුණි.

එහි වාර්තාවලට අනූව පරීක්ෂාවට ලක්කෙරුණු කිසිදු සහල් සාම්පලයක ප්ලාස්ටික් අඩංගු නොවන බවට තහවුරු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *