නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 05ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ඩෙල්‍‍ෆ් දූපතට බටහිරින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 05 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ(18) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රාව සහ අනෙකුත් ආම්පන්න කරෙයිතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දී තිබේ.

මීට අමතරව අනලතිව් දූපතට වයඹ දෙසින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවට ආසන්න ප්‍රදේශයේදී, බද කොටසින් යාත්‍රාව තුළට ජලය කාන්දුවීම හේතුවෙන් ආපදාවට ලක් වී පාවෙමින් තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවකට සහාය දැක්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර ඇත. එම යාත්‍රාවේ ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු සිට තිබේ.

මුර සංචාරක කටයුතුවල නිරතව සිටි වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් ආපදාවට ලක් වී තිබූ ධීවර යාත්‍රාව කඩිනමින් අළුත්වැඩියා කර ඔවුන් තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් වෙත භාර දී පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *