ඩෙංගු රෝගීන් කළමනාකාරණයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) – අයි.ඩී.එච් ජාතික බෝවන රෝග විද්‍යායතන, මීගමුව දිස්ත්‍රික් මහ රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල සහ රත්නපුර මහ රෝහල යන රෝහල්වලට ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් පැමිණීම හේතුවෙන් රෝගී කළමනාකරණ සේවාව විධිමත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (20) පැවැති රැස්වීමක දී මේ පිළිබඳව දිර්ඝ ලෙස සාකච්ඡා විය.

මෙම රෝහල්වල තදබදය අවම කිරිම සඳහා තලංගම, වෑතර, පිළියන්දල යන රෝහල් මෙන්ම ආනියාකන්ද සහ දංකොටුව යන ප්‍රාදේශීය රෝහල්වලට ද ඩෙංගු රෝගීන් ඇතුලත් කිරීමට කටයුතු යොදා ඇත.

රත්නපුර මහ රෝහලේ දැනට ඉදිකර ඇති නව ගොඩනැගිල්ල ද ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරිම සඳහා යොදා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

මෙම රෝහල්වලට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල තාවකාලිකව අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇත.

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම්ලාභීන් ද මෙම රෝහල්වලට තාවකාලිකව අනුයුක්ත කිරීමට තීරණය කර තිබේ. මෙම රෝහල් වලට අවශ්‍ය ඩෙංගු රෝගී නිරික්ෂණ යන්ත්‍ර ද කඩිනමින් ලබාගැනීමට කටයුතු යොදා ඇත.

සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය මණ්ඩල හිඟය මඟහරවා ගැනීම සඳහා සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් ලබාදීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට රෝගීන් ඇතුලත් කර ගැනීම ද අඛණ්ඩව සිදූ කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර ජාතික පාසල් 253 ක පාසල් දරුවන් යොදා ගනිමින් සෑම දිනකම පෙරවරු 11.00 සිට 12.00 දක්වා කාලය තුළ එම පරිශ්‍ර පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව ආරම්භ කිරිමට ද නියමිතය.

අවධානම් දිස්ත්‍රික්ක 06 ක රෝහල් සහ අනෙකුත් සේවා කටයුතු සමිබන්ධීකරණය කිරිම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වෙත එක් එක් දිස්ත්‍රික්ක බාර දී ඇත. කෙටි කාලීන විසඳුම් මගින් රෝගය පැතිරයාම පාලනය කිරිම ඔවුන්ට පැවැරී ඇති වගකීමක් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *