අස්ගිරි මහ නා හිමියන්ගෙන් සමාව ගන්නවා -ඇමති එස්.බී.

(කොළඹ, ලංකාපුවත්) – ඥාණසාර හිමියන් කල කී දේ නිසා ගෞරවය අඩුවුනු නමුත් අස්ගිරි මහ නා හිමියන්ගෙන් සමාව ගන්නා බව මාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.

“ඥාණසාර හිමියන්ට ගරු සරු නැතිව කථා කළා කියල මට අස්ගිරි පාර්ශවයේ සංඝ සභාව විරෝධය පළ කර තිබුනා. මා ඒ ගැන අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන්ගෙන් හා උත්තරීතර සංඝ සභාවෙන් සමාව ගන්නවා.” ‍යැයි ඇමැති එස්.බී.දිසානායක මහතා කියා සිටියේය.

ඇමැතිවරයා එසේ පැවසුවේ අද (21) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

“ගරුතර ඥාණසාර හාමුදුරුවන්ගේ නම විතරක් පාවිච්චි කිරීමත්, උන් වහන්සේට ගරුසරු නැතිව කතා කිරීම ගැන තමා අස්ගිරි නහිමියන් සඳහන් කර තිබුනේ. ඒ ගැන සමාව ගන්න අතරම මම කියන්න කැමතියි ඥාණසාර හිමියන් පිටරටවලදී හා මෙරටදී කළ සමහර දේවල් නිසා උන් වහන්සේ ගැන මගේ තිබූ ගෞරවය අඩුවුනා” යැයි සඳහන් කළ ඇමැතිවරයා “ඥාණසාර හිමියන් බේරුවල සිදුවූ සුළු සිද්ධිය බරපතල දෙයක් බවට පත්කරපු සාක්ෂි අපි දැක්ක. අස්ගිරි පාර්ශවය ඥාණසාර හිමියන් ගැන කියන දේම තමා අපිත් කියන්නේ. උන් වහන්සේගේ සමහර මතවාද වලට අපි එකඟයි.ඒත් උන් වහන්සේගේ හැසිරීමට අපි එකඟ නෑ ලෙසද පැවැසුවේය.

ඇමැතිවරයා මාධ්‍ය හමුවේදී මෙසේද පැවැසීය.

මෙරට පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් කළකිරවන්න නොයෙකුත් අන්තවාදී සංවිධාන වැඩ කරනවා, නොයෙකුත් ප්‍ර‍චාර ගෙනියන බව අපි දන්නවා. අපි ඊට විරුද්ධව වැඩ කරනවා.. කතෝලික පල්ලි දෙසිය ගානකට ප්‍ර‍හාර එල්ලවූ බවට කල ප්‍ර‍චාර අගරදගුරුතුමන්ම ප්‍ර‍තික්ශේප කළ බව ජනාධිපති තුමන් ප්‍ර‍කාශ කලා.

මුස්ලිම්, කතෝලික පල්ලි වලට පහර දුන් බවට වන කට කතා වල විශාල බොරු ගොඩක් තියෙනවා. අපි මහ ජාතිය හැටියටත්, උතුම් බෞද්ධ ජනතාව හැටියටත් ප්‍ර‍වේශම් විය යුතුයි වෙනත් ජාතීන්ට , ආගම් වලට හිරිහැරයක් නොවන විදිහට සංහිඳියාවෙන් කටයුතු කරන්න.
අපි දන්නවා සමහර සිදුවීම් ජාතිවාදී, ආගම්වාදී ගැටුම් බවට පත් කරන්න ඥාණසාර හිමියන්ගේ ප්‍රකාශ බලපෑවා. ඒ වගේම උන් වහන්සේගේ ඇතැම් හැසිරීම් නිසා අපේ උතුම් බෞද්ධ ශාසනයට අපහසයක් සිදු උනා.

ඒ ගැන තමයි අපේ තියෙන සැලීම.අපේ නායක හිමිවරුන්ට අපි ආදරෙයි. බුද්ධාගම කියන්නේ අපේ ලේත් එක්ක තියෙන බැඳීම. අපි පංසල් විහාර එක්ක ජීවත්වෙන මිනිස්සු. ඉතින් අපේ ශාසනයට, හිමිවරුන්ට අවැඩක් වෙනවනම් අපි ඊට විරුද්ධව කටයුතු කරනවා. ඒක තමා මගේත්, දිලාන්ගේත්, රාජිතගේත් ප්‍ර‍කාශ වල හරය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *