කටාර් අර්බුදයේ අලුත්ම තතු

(කොළඹ, ලංකාපුවත්) – කටාර් රාජ්‍ය, සෙසු අරාබි රටවල් විසින් හුදෙකලා කරනු ලැබීමත් සමග මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ ඒ වෙත සැපයුම් භාණ්ඩ පිරවූ නෞකාවක් යැවීමට තුර්කිය කටයුතු කර තිබේ.

ජුනි 05 වෙනිදා අර්බුදය ආරම්භ වීමෙන් අනතුරුව සැපයුම් ද්‍රව්‍ය රැගත් නෞකාවක් කටාර් වෙත යාත්‍රා කරුණු පළමු අවස්ථාව මෙය වේ.

කටාර් රාජ්‍ය සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා අත්හිටුවීමට සෞදි අරාබිය ඇතුළු කලාපීය රටවල් හයක් ගත් ක්‍රියාමාර්ගය තවදුරටත් එළෙසම පවතී.

එවැනි තත්ත්වයක් හමුවේ කටාර් රාජ්‍ය තුළ ආහාර හිඟයක් ඇති විය හැකි බවට බිය පළ විය.
අන්තවාදයට සහාය ලබා දෙන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බහරේනය, ලිබියාව, යේමනය සහ ඊජිප්තුව යන අරාබි රටවල් කටාර් රාජ්‍ය වෙත සිය ගුවන්, මුහුදු සහ ගොඩබිම් දේශ සීමා වසා දැමීමට කටයුතු කළහ.

කටාර් රාජ්‍ය එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඒ වෙත සහාය ලබා දීමට තුර්කිය ඉදිරිපත්ව සිටී.

මේ වන විටත් සැපයුම් ද්‍රව්‍ය රැගත් තුර්කි ගුවන් යානා වාර සියයකට අධික සංඛ්‍යාවක් කටාර් වෙත පියාසර කර තිබේ.

120,000 ට අධික ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති.
කටාර් රාජ්‍ය සහ සෙසු අරාබි රටවල් අතර මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ ශ්‍රී ලාංකිකයන්ට බලපෑමක් එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා රජය සදහන් කරයි.

මාස ගණනාවකට අවශ්‍ය තරම් ආහාර සංචිත තමන් සතු බව කටාර් බලධාරීන් එහි වෙසෙන තානාපතිවරුන්ට දන්වා ඇති බව කටාර්හි ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී ලියනගේ මහතා පසුගියදා පැවසීය.

මේ අතර කටාර්හි සේවයේ නිරත සංක්‍රමණික ශ්‍රමිකයන් අතරින් විශාලතම ප්‍රජාව ඉන්දියනුවන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *