කිසිදු සරසවි සිසුවෙකුට දොස් කියන්නේ නැහැ – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය සිසුන්ට අසාධාරණයක් සිදු කරමින් ඔවුන්ගේ වරප‍්‍රසාද අහිමිකර, නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට රජය කටයුතු කරන බවට අද ඇතැම් පිරිසක් රටට පෙන්විමට උත්සාහ දරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

ඒ සඳහා විශ්වවිද්‍යාල සිසුන් නොමග යවමින් සිටින බව ද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම අශීලාචාර දේශපාලන හස්තයන්ගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන කුමන්ත‍්‍රණ පිළිබඳව තමා කිසිදු විශ්වවිද්‍යාල සිසුවෙකුට දොස් නොනගන බව ද කියා සිටියේය.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ(22) පෙරවරුවේ පොළොන්නරුව, ලංකාපුර මහා විද්‍යාලයේ පැවති උත්සවයකදීය.

වසරකට මේ රටේ ලක්ෂ දෙක හමාරක පමණ සිසුන් පිරිසක් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අතර ඉන් අනූ දහසක්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබුවත්, විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නේ විසි පන්දහසක පමණ සුළු පිරිසක් බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

ඉතිරි දරුවන්ගේ උසස් අධ්‍යාපන සිහින මල් ඵල ගැන්වීම වෙනුවෙන් රට තුළ රාජ්‍ය විශ්වවිද්‍යාල සේම ඉහළ ප‍්‍රමිතියකින් යුත් පෞද්ගලික විශ්වවිද්‍යාල ද බිහිවිය යුතු බව පැවසූ ජනාධිපතිතුමා රටේ කිසිදු දරුවෙකුගේ අධ්‍යාපන අයිතීන්, කිසිදු අවස්ථාවක සීමා කළ නොහැකි බව ද පැවසීය.

එමෙන්ම වාර්ෂිකව අසූ දහසක පමණ පිරිසක් උසස් අධ්‍යාපනය සඳහා විදේශගතවන අතර, තම අධ්‍යාපන අපේක්ෂා වෙනුවෙන් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් ගේ දොර පවා උකසට තබමින් අධ්‍යාපනය සොයා රට හැරයාම කණගාටුදායක තත්ත්වයක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් හෝ අධ්‍යාපන ආයතනයක් වුවද රජය පිළිගන්නා ප‍්‍රමිතීන්ට අනුව අධ්‍යාපනය ලබාදිය යුතුය යන ප‍්‍රතිපත්තිමය තීන්දුවට රජය එළැඹ තිබෙන අතර මාළඹේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳ විශ්වවිද්‍යාල සිසුන් සමග පැවති සාකච්ඡාවේදී ඔවුන්ගේ ඉල්ලීම පරිදි සංශෝධන රැසක් සිදු කිරීමට රජය පියවර ගත් බව ද කියා සිටියේය.

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පාසල් රැසක නව ගොඩනැගිලි සිසු අයිතියට පවරාදීම ඇතුළු සංවර්ධන කටයුතු රැසක් අද දිනයේ ද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අද පෙරවරුවේ පුලස්තිගම, විජිත ප‍්‍රාථමික විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එම විද්‍යාලයේ සෙසු අඩු පාඩු පිළිබඳව ද සොයා බැලීය.

උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පළාත් අමාත්‍ය සම්පත් ශී‍්‍ර නිලන්ත යන මහත්වරුන් ද විදුහල්පති සරත් හේමකුමාර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන් අනතුරුව ලංකාපුර මහා විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ජනාධිපතිතුමා එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *