2050 වසර වනවිට ලෝක ජනගහනය බිලියන 9.8ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – 2050 වර්ෂය වන විට ලෝක ජනගහනය බිලියන 9.8ක් දක්වා ඉහළ යා හැකි බව එක්සත් ජාතීන් සංවිධානය සදහන් කරයි.

ඔවුන්ගේ නවතම වාර්තාවට අනුව 2025 වසරේදී ජනගහනයෙන් වැඩි පිරිසක් ඉන්දියාව, නයිජීරියාව, කොංගෝ ජනපදය, පාකිස්ථානය, ඉතියෝපියාව, ටැන්සානියාව, අමෙරිකා එක්සත් ජනපදය, උගන්ඩාව සහ ඉන්දුනීසියාව යන රටවල් වලින් නියෝජනය වනු ඇති බව පැවසේ.

සෑම වසරකදීම මිලියන 83ක ජනතාවක් ලෝක ජනගහනයට අලුතින් එක් වේ.

එසේම තවත් වසර 07කින් එනම් 2024 වසරේදී ජනගහණය අතින් ඉන්දියාව, චීනය අභිබවා යා හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවැකි පළ කර සිටියි.

දැනට ජනගහණය අතින් හත්වන ස්ථානයේ පසුවන නයිජීරියාවේ ජනගහනය වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර 2050 වසර වන විට අප්‍රිකානු රටවල් 26ක ජනගහනය අවම වශයෙන් දෙගුණයක් විය හැකිය. එමෙන්ම ඒ වන විට ලොව පුරා සිටින වයස අවුරුදු 60ක් හෝ ඊට වැඩි පුද්ගලයින් සංඛ්‍යාව දෙගුණයක් වන අතර, වර්ෂ 2100යේදී එය තුන් ගුණයකින් ඉහළ යා හැකි බවට අපේක්ෂා කෙරේ.

කෙසේ නමුත් යුරෝපා රටවල ජනගහනය ඉදිරි දශකවලදී යම් තරමකට පහත වැටෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *