කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ තවත් විශේෂ සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – පළාත් පාලන ආයතනයන්හි කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ තවත් සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

කසළ අංගන අළුත් වැඩියාවන්, ගංවතුර ඇති වූ ප‍්‍රදේශයන්හි කසළ ඉවත් කිරීම, කෙටි කාලයක් තුළ කොම්පෝස්ට් නිපදවිය හැකි යන්ත‍්‍ර හඳුන්වාදීම, කසළ කළමනාකරණය විධිමත් කිරීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීම, කසළ කළමනාකරණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම, පොලිතින්, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා වන ගැසට් පත‍්‍රය පළ කිරීම, කසළ කළමනාකරණය විධිමත් කිරීම සඳහා වන මාර්ගෝපදේශ සංග‍්‍රහය කි‍්‍රයාත්මක කිරීම යන කරුණු පිළිබඳ මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

පළාත් පාලන ආයතන විසින් තෝරාගනු ලැබූ ස්ථාන සඳහා කසළ බැහැර කිරීමේදී එම කටයුතුවලට බාධා පමුණුවන පිරිස් වෙත උපරිම අයුරින් නීතිය කි‍්‍රයාත්මක කිරීමට මෙහිදී පොලිස්පතිවරයා වෙත උපදෙස් දුන් ජනාධිපතිතුමා එම ස්ථාන සඳහා ආරක්ෂාව සැපයීමට ද උපදෙස් ලබා දුන්නේය.

කසළ කළමණාකරනය පිළිබඳ ජනතාව ප‍්‍රමාණවත් අයුරින් දැනුවත් නොවීම ගැටලු රැසකට ප‍්‍රධාන හේතුව වී ඇති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා කසළ වර්ගීකරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන ලෙස ද උපදෙස් දුන්නේය.

කොළඹ නගරය තුළ කසල කළමනාකරණයේ වත්මන් තත්ත්වය පිළිබඳ කොළඹ නාගරික කොමසාරිස්වරයා විසින් මෙහීදී කරුණු දැක්වූ අතර කොළඹ නගරය තුළ කසළ බැහැර කිරීමේ කටයුතු පිළිබඳ වගකීම ජනාධිපතිතුමා විසින් බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය මහතා වෙත පවරනු ලැබීය.

එමෙන්ම කසළ කළමනාකරණයේ දී පළාත් පාලන ආයතන මුහුණදී තිබෙන ගැටලු පිළිබඳව ද ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කෙරුණු අතර පළාත් පාලන ආයතන සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ සහ වාහන ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ද ඉදිරිපත් කෙරිණි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන අනුර පි‍්‍රයදර්ශන යාපා, වජිර අබේවර්ධන, පාඨලී චම්පික රණවක, සජිත් පේ‍්‍රමදාස, ෆයිසර් මුස්තාපා, ගයන්ත කරුණාතිලක, සාගල රත්නායක, සුසිල් පේ‍්‍රමජයන්ත යන මහත්වරුන් ද අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පළාත් පාලන ආයතන ප‍්‍රධානින් සහ රාජ්‍ය නිලධාරින් සම ආරක්ෂක අංශ ප‍්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *