කැම්බර් සෑන්ඩ්ස් මරණ: “ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පස් දෙනාම පිහිනීමේ දක්ෂයෝ”

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය වසරේ අගෝස්තු මාසයේ බ්‍රිතාන්‍යයේ කැම්බර් සෑන්ඩ්ස් මුහුදේ ගිලී මිය ගිය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දෙමළ ජාතික තරුණයන් පස් දෙනාම පිහිනීමේ දක්ෂයන් බව මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

18 හැවිරිදි කෙනුගන් (කෙන්) සත්‍යනාදන්, ඔහුගේ සොහොයුරු 22 හැවිරිදි ගෝබිකාන්තන් (ගෝබි) සත්‍යනාදන් ඇතුළු තරුණයන් පස් දෙනාගේම මරණයට හේතුව මුහුදේ ගිලීම බව අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය.

ඇතැම් අවස්ථාවල දිනකට 30,000 කට ආසන්න සංචාරකයන් පිරිසක් ආකර්ෂණය කරගන්නා සිත්කළු කැම්බර් සෑන්ඩ්ස් වෙරළ තීරයේ “සැඟවුණු අනතුරු” පැවති බව නීතිවේදියෙක් සඳහන් කළේය.

“තවත් කිසිවෙකුට මෙවැනි ඛේදවාචකයක් සිදු නොවනු දැකීම” සිය සේවාදායකයන්ගේ අභිලාශය බව සත්‍යනාදන් පවුල වෙනුවෙන් පෙනී සිටි පැට්‍රික් රොෂ් බැරිස්ටර්වරයා පැවසීය.

කෙන් සහ ගෝබි දෙසොහොයුරන් ශ්‍රී ලංකාවේ හැදී වැඩුණු ගම්මානය අවට ගංගා තුනක් තිබෙන අතර, ඔවුන් දෙදෙනාම පිහිනීමේ දක්ෂයන් බව ඔවුන්ගේ පියා, ආරුමුගම් සත්‍යනාදන්, මරණ පරීක්ෂණය වෙත ඉදිරිපත් කළ සාක්ෂි සටහනක දැක්වේ.

එවකට දහ වැනි වියේ සහ 14 වැනි වියේ පසු වූ දෙසොහොයුරන් 2008 දී බ්‍රිතාන්‍යයට පැමිණීමට පෙර නිරන්තරයෙන් ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩා කළ බවත් සෑම සති අන්තයකම පාහේ ගඟේ පිහිනීමට ගිය බවත් පියා පවසයි.

විශේෂයෙන්ම බ්‍රයිටන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ ගෝබි කැම්බර් වෙරළ තීරයට දැඩිව ඇලුම් කළ අතර, ඔහුගේ මරණයට පෙරාතුව 2016 වසර තුළ පමණක් තුන් වතාවක්ම එහි පැමිණි බවත් පියාගේ සටහනේ දැක්වේ.

ඔවුන් දෙදෙනාගේ රුධිරයේ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය නොතිබුණ බව වෝහාරික විශේෂඥ වෛද්‍ය බ්‍රෙට් ලී මරණ පරීක්ෂණය හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.

ඔවුන් දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වූ බවත් වෛද්‍ය වාර්තාවල දැක්වේ.

එහිදී සාක්ෂි දුන් ඔවුන් දෙදෙනාගේ මව වන ජෙගලීලා සත්‍යනාදන් පැවසුවේ සිය පුතුන් දෙදෙනාම ශ්‍රී ලංකාවේදී දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රීඩාවල නිරත වූ ඉතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවූ තරුණයන් දෙදෙනෙකු බවය.

22 හැවිරිදි නිදර්ශන් රවි, 23 හැවිරිදි ඉන්දුශාන් ශ්‍රීස්කන්ධරාජා සහ 27 හැවිරිදි ගුරුශාන්ත් ශ්‍රීතවරාජා මියගිය අනෙක් තරුණයන් තිදෙනාය.

ඔවුන් තිදෙනා ද පිහිනීමේ දක්ෂයන් බව ඔවුන්ගේ ඥාතීහු මරණ පරීක්ෂණය හමුවේ සාක්ෂි දෙමින් පැවසූහ. මරණ පරීක්ෂණය තවදුරටත් පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *