5000 ක් පමණ මෙරට වන අලි සම්පත ආරක්ෂා කිරීමට වනජීවී පශු වෛද්‍ය කාර්යමණ්ඩල දැවැන්ත මෙහෙවරක

(කොළඹ, ලංකාපුවත්) – 5000 ක් පමණ මෙරට වන අලි සම්පත ආරක්ෂා කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ වනජීවී පශු වෛද්‍ය කාර්ය මණ්ඩලය ඉතා සුවිශේෂි සේවාවක් සිදුකරන බවත් අනෙක් රටවල් සමග සසඳනවිට එම නිලධාරීන්ගේ කැපවීම කිසිදු රටකට දෙවෙනි නොවන බවත් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාවේ අවතැන් අලි පැටවුන් යළි වනගත කිරීම ආසියානු වන අලි සංරක්ෂණය කිරීමේදී පුරෝගාමී කටයුත්තක් වශයෙන් වනජීවී පශු වෛද්‍ය  කාර්ය මණ්ඩල සිදුකරන බවත් මේ කටයුතු ජාතික වගකීමක් සේ කළකා ක්‍රියාකිරීම  ඉතා වැදගත් වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

5000කට ආසන්න වන අලි ගහනයක් තිබෙන සියලුම වනජීවී කලාප ආවරණය කිරීමේ කටයුතු මෙහෙයවන්නේ වනජීවී පශු වෛද්‍යවරුන් 15 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් බවත් ජීවිත අවදානම නොතකා අව්ව වැස්ස අනෙකුත් දුෂ්කරතා නොතකා මෙම පශු වෙද්‍යකාර්යය මණ්ඩලය කරනු ලබන මෙහෙය සුවිශේෂි වන බවත් නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පෙන්වා දුන්නාය.

නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශකළේ ශ්‍රී ලංකා වනජීවී පශුවෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 13 වැනි මහා සභා රැස්වීමට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමිනි. මෙය පැවැත්වුණේ බත්තරමුල්ලේ පිහිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදීය.

“වන අලි පමණක් නොවෙයි අනතුරට ලක්වන සියලුම වන සතුන් අදාළ ප්‍රතිකාරකොට ආරක්ෂිතව වනයට මුදාහැරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග මෙම පශු වෛද්‍යකාර්යය මණ්ඩල සුවිශේෂි මෙහෙයක් සිදුකරනු ලබනවා.

වාසභූමි අහිමිවීමේ බලපෑම විශාල දේහ ප්‍රමාණයෙන් යුතු සතුනට ප්‍රභලව බලපාන අතර අප්‍රිකාවේ වනඅලින්, සිංහයින්, රයිනෝසිරසයන් වැනි සතුන්ද, ආසියාවේ පැන්ඩාවන්, වනඅලින්, සිංහයින්, රයිනෝසිරසයන් වැනි සතුන්ද වඳවීමේ තර්ජනයට මුහුණදී සිටී.

වනජීවී කළමණාකරනයේ දියුණුවත්, වනජීවී පශු වෛද්‍ය සේවාවල ප්‍රගමණයක් හේතුවෙන් පැන්ඩාවන්, කළු රයිනෝසිරස්, සිංහයන් වැනි වන සත්ව ඝහණ සැළකියයුතු පුනරාගමනයක් ලබා තිබෙනවා.යනුවෙන්ද සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ශ්‍රි ලංකා වනජීවී පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් යෝජනා කිහිපයක් සභා සම්මත කරගෙන නියෝජ්‍ය අමාත්‍යවරිය වෙත මෙහිදී ඉදිරිපත්කරන ලදී.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගැලපෙන පරිදි පශුවෛද්‍ය නිලධාරීන්ගේ තනතුරැ නාමය වෙනස් කිරීම, රාජකාරීවලදී දුෂ්කර බව, අසීරු බව, අවදානම් හා අවිවේකී බව සළකා බලා විශේෂ දිමනාවක් ලබාදීම. පශු වෛද්‍ය නිලධාරීන්ට ගැලපෙන උසස්වීම් පටිපාටියක් සකස් කිරීම, විදෙස් පුහුණු ලබාදීම, පශු වෛද්‍ය රෝහල් හා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානවලට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කිරීම ඇතුළු යෝජනා මෙහිදී ඉදිරිපත් කෙරිණි.

මෙම සියලු යෝජනා ගැන තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සමග සාකච්ඡාකර ලබාදියහැකි විසදුම් ලබාදීමට ක්‍රියාකරන බව නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය.

නවක පශු වෛද්‍ය නිලධාරීන් 7 දෙනෙකු බඳවා ගැනීමට ක්‍රියාකිරීම , පශු වෛද්‍ය නිලධාරීන්ට විදෙස් පුහුණුව ලබාදීමට යොමුකිරීම යන කරුණු ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යවරයාටත්, නියෝජ්‍ය අමාත්‍යවරියටත්, ලේකම්වරයාටත් ශ්‍රීලංකා වනජීවී පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහිදී සිය ස්තුතිය පලකළේය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේනතුවේ පශුවෛද්‍යවරු 15 දෙනෙක් සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පශුවෛද්‍ය නිලධාරීන් 10 දෙනෙක් ශ්‍රී ලංකා වනජීවී පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *