ඊශ‍්‍රායල් රැකියා ආරක්‍ෂා කිරීමේ වගකීම ශ‍්‍රමිකයින් සතුයි – විදේශ රැකියා ඇමති

(කොළඹ, ලංකාපුවත්) – ඊශ‍්‍රායල් රාජ්‍යයෙන් මෙරටට ලැබී තිබෙන කෘෂි අංශයේ රැකියා ආරක්‍ෂා කිරීමේ වගකීම මෙරටින් එරටට රැකියාව සඳහා යන ශ‍්‍රමිකයින්ගේ සතු බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.
2015 වසරේ ඊශ‍්‍රායෙල් රැකියා අවස්ථා ලැබී තිබුණේ 85ක් වැනි සුළු ප‍්‍රමාණයක් බවත්, නව රජය පත්වීමෙන් පසු එරට රජය සමඟ සිදුකළ සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස මෙම රැකියා අවස්ථා වැඩිකර ගැනීමට හැකිවූ අතර, තම වගකීම නිවැරදිව හඳුනා ගනිමින් කටයුතු කළ යුතු බවත් සඳහන් කළාය.

අතුකෝරල මහත්මිය මේ අදහස් පළ කළේ, ඊශ‍්‍රායලයේ රැකියා සඳහා යන ශ‍්‍රමිකයින් 38 දෙනෙකු වෙනුවෙන් ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවකට එක්වෙමිනි.

2016 වර්ෂයේ ඊශ‍්‍රායලයේ කෘෂිකාර්මික රැකියා අවස්ථාවන් 369ක් ද, 2017 වසරේ මේ වන විට රැකියා 239ක් ලද බවත් මෙරටෙන් ඊශ‍්‍රායලයට යන ශ‍්‍රමිකයින් සිය කාල සීමාව ඉක්මවීමෙන් පසු නැවත දිවයිනට නොපැමිණ නීතිවිරෝධීව රැඳී සිටීම නිසා ඊශ‍්‍රායල් කෘෂි අංශයේ රැකියා අවස්ථාවන් අහිමිවීමේ තර්ජනයක් ඇති බවත් එහෙයින් එරට රැඳී සිටින ශ‍්‍රමිකයින් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි.

ඊශ‍්‍රායල් කෘෂි රැකියා හිමිවන තරුණයින්ට සිය සේවා කාලය තුළ තම ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා විශාල මුදලක් ඉතිරි කරගත හැකි වන බවත්, සාර්ථකව රැකියා කර දිවයිනට පැමිණෙන ශ‍්‍රමිකයින්ට නැවත රැකියා අවස්ථා ලබා ගත හැකි වන බවත්, එහෙයින් සිය ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසු දිවයිනට පැමිණීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරිය රැකියා ලාභීන්ගෙන් ඉල්ලා සිටියාය.

මෙම අවස්ථාවට විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලක්‍ෂමන් අබේගුණරත්න, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඩබ්.එම්. වන්සේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.පී. වීරසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *