චමරි අතපත්තු වැඩිම ලකුණු රැස්කළ තිදෙනා අතරට

(කොළඹ, ලංකාපුවත්) – එක් දින ක්‍රිකට් තරගයක වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩිකාවන් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු තෙවැනි ස්ථානයට පත්වේ.

කාන්තා ලෝක කුසලානයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ඊයේ(29) පැවති තරගයේ අගනා පිති හරඹයක යෙදුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ චමරි අතපත්තු නොදැවී ලකුණු 178 ක් රැස් කිරීමට සමත් වූවාය.

පන්දු 143 ක් තුළ රැස් කළ එම ලකුණු සංඛ්‍යාවට හතරේ පහර 22 ක් සහ හයේ පහර 06 ක් ඇතුළත් වේ.

වාර්තා කිහිපයක් බිඳ දමමින් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 257 ක් රැස් කිරීමට සමත් විය.

චමරි අතපත්තුට පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩිකාව සශිකලා සිරිවර්ධනයි. ඇය රැස් කළ ලකුණු සංඛ්‍යාව 24 කි.

ඒ අනුව එක් දින ක්‍රිකට් තරගයක වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩිකාවන් අතර චමරි අතපත්තු 03 වෙනි ස්ථානයට පත් වන අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ලකුණු 150 සීමාව පසු කළ පළමු අවස්ථාව ද මෙය වේ.

ලෝකයේ අංක එකේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෙස සැලකෙන ලෝක ශූර ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩිකාවක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙයයි.
වැඩිම ලකුණු ලබා ගත් සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනා එම ස්ථානවලට පත්ව ඇත්තේ ඩෙන්මාර්කයට හා අයර්ලන්තයට එරෙහිවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *