ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණික ක්‍ෂේත්‍රයට ලෝකයේ අවධානය යොමුවෙලා – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණික ක්‍ෂේත්‍රයේ සංවර්ධන කටයුතු සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම ඉතා වැදගත් බවත් මෙම කටයුත්තේ දී ලෝකයේ බොහෝ රටවල් ලංකාවට ඉතා හොඳ සහයෝගයක් ලබා දෙන අතර වර්ථමානය වන විට ලෝකයේ සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල වැඩි අවධානය දිනා ගැනීමට ලංකාවේ විද්‍යා හා තාක්ෂණික ක්‍ෂේත්‍රය සමත්වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ”ඉන්කෝ 2017” කර්මාන්ත ප්‍රදර්ශනයට සහභාගී වෙමිනි.

මෙවර 15 වැනි වරටත් පැවැත්වූ ”ඉන්කෝ 2017” කර්මාන්ත ප්‍රදර්ශනය වරළත් ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරනු ලබන අතර, ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ පුනර්ජීවයක් ඇති කිරීමේ අරමුණින්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාශය මෙම ප්‍රදර්ශනය සඳහා දායක වෙයි. එහිදී කර්මාන්තවල තරඟකාරීත්වය වැඩිදියුණු කිරීම, ප්‍රාදේශීය කාර්මීකරණය ඉහළ නැංවීම හා නිෂ්පාදනවල තත්ත්වය ඉහළ නැංවීම යන අංශ කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා.

”මෙවැනි කර්මාන්ත ප්‍රදර්ශන තුළින් කර්මාන්තකරුවන්ට තම භාණ්ඩ විශාල පාරිභෝගික ජනතාවක් වෙත එකවර යොමු කිරීමට හොඳ අවස්ථාවක් ලැබෙනවා. මේ හරහා තම නව නිෂ්පාදන වෙළඳ පළට හඳුන්වාදීමට හැකියාවක් ලැබෙනවා. මෙම ප්‍රදර්ශනය හරහා ශ්‍රී ලංකාවේ මධ්‍යම පාන්තික කර්මාන්ත කරුවන්ට තම ආදායම් ඉහළ නංවා ගැනීමට අවස්ථාව උදාවී තිබෙනවා. සූර්යය බලශක්තිය කර්මාන්ත ක්‍ෂේත්‍රයට යොදාගත හැකි ආකාරයේ ව්‍යාපෘති රැසක් මෙවර මෙම ප්‍රදර්ශනයට එක්කර තිබීම විශේෂත්වයක්. මෙවැනි සූර්යය බලශක්ති ව්‍යාපෘති කර්මාන්ත ක්‍ෂේත්‍රයේ පුනර්ජීවනයට ඉතා වැදගත්. මෙය කර්මාන්ත ක්‍ෂේත්‍රයේ පිබිදීමක් ඇති කළ හැකි හොඳ ප්‍රවණතාවක් ලෙස මා දකිනවා. මෙවැනි ව්‍යාපෘති වැඩිදියුණු කිරීමෙන් අනාගත ශ්‍රී ලංකාවේ බල ශක්ති අර්බුදයක් ඇති නොවනු ඇතැයි මා තරයේ විශ්වාස කරනවා” යැයි පැවසීය.

”ලෝකයේ සෙසු රටවල මෙන්ම ලංකාවේ ද කර්මාන්ත ක්‍ෂේත්‍රයේ දියුණුව සඳහා ඉංජිනේරුවරුන්ගේ කාර්යයභාර්යය ඉතා වැදගත්. ලංකාවේ ඉතා දක්ෂ පළපුරුදු සුදුසුකම්වලින් සමන්විත ඉංජිනේරුවරුන් සිටිනවා. මෙගා පොලිස් වැනි නව ව්‍යාපෘති මගින් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ට තම කුසළතා ජාත්‍යන්තර මට්ටම තෙක් ගෙනයාමට හොඳ අවස්ථාවක් උදාවී තිබෙනවා.” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *