ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ආරක්ෂක අමාත්‍යංශය ශක්තිමත් කරනවා – ආරක්‍ෂක ලේකම්

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරියේදී රට හමුවේ එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ආරක්ෂක අමාත්‍යංශය ශක්තිමත් කරන බව අමාත්‍යංශ නව ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සදහන් කරයි.

සිය ධූරයේ රාජකාරි ආරම්භ කරමින් ඒ මහතා ඊයේ(06) මෙම අදහස් පළ කළේය.

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සම්ප්‍රදායිකව අමාත්‍යංශ පිවිසුම වෙත කැදවාගෙන එනු ලැබී. අනතුරුව අමාත්‍යංශ අතිරේක ලේකම් සිවිල් ආරක්ෂක හා සංවර්ධන ජී එන් පණ්ඩිතරත්න මහතා විසින් ඒ මහතා පිළිගනු ලැබීය. මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ රාජකාරි ආරම්භ කළ වෛද්‍යරත්න මහතා අමාත්‍යංශ කාර්ය මණ්ඩලයද ඇමතීය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන කපිල වෛද්‍යරත්න මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික කටයුතු පිළිබඳව විශේෂවේදී උපාධිදාරියෙකු මෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර කටයුතු පිලිබඳව පශ්චාත් උපාධිධාරියෙක්ද වේ.

නව ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා කොළඹ නීති විද්‍යාලයේ නීති උපාධිය ලබා නීතිඥයෙකු ලෙස කටයුතු කර තිබෙන අතර, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අපරාධ පිළිබඳ අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතිවේදියෙකු ලෙස වසර ගණනාවක් සේවය කර ඇති අතර, ෆිජි රාජ්‍යයේ ආරාධනාවකට අනුව එරට අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙසද කටයුතු කර ඇත. වර්ෂ 2015 දී ඒ මහතා ජනාධිපති නීතීඥයෙකු ලෙස ද පත්කරනු ලැබීය.

රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමඟ කෙටි සාකච්ඡාවක නිරතවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *