ටියුනිසියාව සමඟ වෙළඳ සබඳතා ඉහළ නැංවීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ටියුනීසියාව හා ශ්‍රී ලංකාව අතර මේ වන විට අක්‍රීය මට්ටමේ පවතින වෙළද සබඳතා වඩා ඵලදායි ලෙස නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා ටියුනීසියානු ආයොජකයින්ට මෙරටට පැමිණ තම ආයෝජන කටයුතු ආරම්භ කිරීමට ආරාධනා කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්කර ඇති ටියුනීසියානු තානාපති නෙජ්මිඩයින් ලකාල් (NEJMEDDINE LAKHAL) මහතා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාතයාංශයේදී පසුගියදා හමුවු අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. ටියුනීසියාව හා ශ්‍රී ලංකාව අතර වෙළද සබදතා ඉහළ නැංවීම පිළිබදව සාකච්ඡා කිරීම සදහා මෙම හමුව සංවිධානය කර තිබුනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා,

” ශ්‍රී ලංකාව හා ටියුනීසියාව අතර වෙළඳ සබදතා නැවත වඩාත් ක්‍රමවත්ව ආරම්භ කිරීම දෙරටටම වාසිදායකයි. මෙතෙක් කල් ටියුනීසියාව හා ලංකාව අතර වෙළද ගනුදෙනු ඉතා මන්දගාමීවයි සිදුවෙලා තියෙන්නේ මෙම තත්වය වෙනස් කරන්න අවශ්‍යයි.දෙරටටම වාසිදායකවන පරිදි අපි මෙම වෙළඳ ගනුදෙනු ශක්තිමත් කළ යුතුයි. මෙහිදී අපේ රටේ “තේ” වලට ටියුනීසියාවෙ හොඳ වෙළඳ පලක් ඇතිකරගන්න වගේම ටියුනීසියාවෙ ඇඟලුම් හා ඉලෙක්ට්‍රොනික උපකරණ වලට ලංකාවෙ වෙළද පොලේ හොඳ අවස්ථාවක් ලබාගන්නත් පුලුවන්. ජි.එස්.පී. ( GSP) බදු සහනයත් මේ වන විට ලැබී තිබෙන නිසා මේ තත්වය අපේ රටට වඩා වාසිසහගතයි. ටියුනීසියානු ආයෝජකයින්ට මෙරටට පැමිණ ආයෝජනය කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගයත් විෂයභාර අමත්‍යවරයා ලෙස මාගේ උපරිම සහයෝගයත් ලබාදෙනවා.” යැයි පැවසීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්කර ඇති ටියුනීසියානු තානාපති නෙජ්මිඩයින් ලකාල් (NEJMEDDINE LAKHAL) මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ, ටියුනීසියාව යුරෝපයට ඉතා සමීප රටක් බැවින් දෙරට අතර වෙළඳාම දියුණු කිරීමෙන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන වලට යුරෝපීය වෙළඳ පළට පිවිසීමට පහසුවන අතරම ටියුනීසියානු නිෂ්පාදන දකුණු ආසියානු රටවලට යොමු කිරීමේ හැකියාවද වඩා වැඩිවන බවයි. මේ සඳහා සහයෝගය දැක්වීමට ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත්වීම ප්‍රශංසනීය බවත් ටියුනීසියානු තානාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *