මුළු දිවයිනම ආවරණයවන පරිදි අද අළුයම විශේෂ පොලිස් මෙහෙයුමක්

(කොළඹ, ලංකාපුවත්) – පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගයක් මත අද(12) අළුයම් කාලයේ දී මුළු දිවයිනම ආවරණය වවන පරිදි අපරාධ නිවාරණ විශේෂ පොලිස් මෙහෙයුමක් දියත් කර ඇත.

අළුයම 01.00 සිට අළුයම 05.00 දක්වා එම මෙහෙයුම දියත් කළ බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.

ඒ සදහා පොලිස් නිලධාරීන් 14,000කට අධික පිරිසක් එක්ව තිබේ.

එහිදී වරෙන්තුකරුවන් 772ක්, විවිධ අපරාධයන් සදහා අවශ්‍ය කරන පුද්ගලයින් 110ක්, හෙරොයින් සම්බන්ධ නඩු85ක්, ගංජා සම්බන්ධ නඩු 264ක්, නීති විරෝධී මත්පැන් සම්බන්ධ නඩු 221ක් ලබා ගෙන ඇත. එසේම බීමත්ව රිය පැදවීම් සම්බන්ධ නඩු 368ක්, රියදුරු බලපත්‍ර නොමැතිව ධාවනය කිරීම් 320ක්, අපරික්‍ෂාකාරී ලෙස රිය පැදවීම් නඩු 222ක් සහ වෙනත් රථවාහන නඩු 4434ක් ලබා ගෙන තිබේ.

මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය මිලිග්‍රෑම් 22,210කි. එසේම අත්අඩංගුවට ගෙන ඇති නීති විරෝධී මත්පැන් ප්‍රමාණය ලීටර් 37,084ක් වන අතර අත්අඩංගුවට ගත් ගංජා ප්‍රමාණය මිලිග්‍රෑම් 40428කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *