දෙරටේ අසීමිත බැඳීම වෙනුවෙන් අපට කළ නොහැකි දෙයක් නැහැ – බංග්ලාදේශ විදේශ ඇමති

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවත්නා සබඳතා අසීමිත බැවින් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් තම රටට කළ නොහැකි දෙයක් නොමැති බවත්, කවර අවස්ථාවක වුව ශ‍්‍රී ලංකාව අපේක්ෂා කරන උදව් කිරීම වෙනුවෙන් තම රට සූදානම් බවත්, බංග්ලාදේශ විදේශ ඇමති අබුල් හසන් මහමූද් අලි මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවේ පැවසීය.

තෙදින බංග්ලාදේශ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපතිතුමා ඊයේ(13) පස්වරුවේ ඩකා නුවර Sonargoon හෝටලයේදී බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා මුණගැසුණු අතර, එම හමුවේදී විදේශ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

තවදුරටත් අදහස් දක්වමින් බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මෙම සංචාරය දිගු අතීතයක් දක්වා දිවෙන ශ‍්‍රී ලංකා – බංග්ලාදේශ සබඳතාවේ පැහැදිලි සංධිස්ථානයක් බවයි.

තමා ඇතුළු ශ‍්‍රී ලාංකික දූත පිරිස වෙනුවෙන් බංග්ලාදේශ රජය පිරිනැමූ උණුසුම් පිළිගැනීම වෙනුවෙන් තම ස්තූතිය පළකළ ජනාධිපතිතුමා, බංග්ලාදේශය අප රටේ අවංක මිතුරෙකු බවත්, පසුගිය යුද සමයේ මෙන්ම, ඉකුත් ගංවතුර ආපදාවේදී ද බංග්ලාදේශයෙන් ලද සහයෝගය කෘතවේදීව සිහිපත් කරන බවත් සඳහන් කළේය.

තමා බංග්ලාදේශයට අමුත්තෙක් නොවන බව සඳහන් කළ ජනාධිපතිතුමා, මින් පෙර පරිසර ඇමතිවරයා වශයෙනුත්, සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙනුත්, බංග්ලාදේශයේ කළ සංචාරයන් සහ ලද අත්දැකීම් සිහිපත් කළේය.

ෂෙයික් හසීනා අග‍්‍රාමාත්‍යවරිය යටතේ බංග්ලාදේශය ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳ තම ප‍්‍රසාදය පළකළ ජනාධිපතිතුමා, දෙරට අතර ආයෝජන සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීම වෙනුවෙන් තවදුරටත් පියවර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

අමාත්‍ය රවී කරුණානායක, රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මොහොන් ලාල් ගේ‍්‍රරු, නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළු පිරිසක් බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා සමග වූ මෙම හමුවට එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *