කුණු ප්‍රශ්නයට රජයෙන් ස්ථිරසාර විසඳුම් – අගමැති හෙළි කරයි

(කොළඹ, ලංකාපුවත්) – කසල ප්‍රශ්නයට ස්ථිර විසදුම් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ ජාතික අධ්‍යාපනික පොත් සල්පිල ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

කොළඹ ජාතික අධ්‍යාපනික පොත් සල්පිල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(21) ආරම්භ කෙරුණේ කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ දීය.

එහිදී අගමැතිවරයා කියා සිටියේ මේවන විට මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පුත්තලමෙන්, කසළ කළමනාකරණය සදහා සුදුසු භූමියක් සොයා ගෙන ඇතිබවය. එම භූමිය සකස් කිරීමේ කටයුතු සදහා වසර දෙකක කාලයක් ගත වන බවත් ඉන් අනතුරුව වසර 10ක් සදහාවන කසළ කළමනාකරණය එම භූමියේ දී සිදු කිරීමේ හැකියාව පවතින බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය. එම වසර 10 ඇතුළත තවත් අලුත් යෝජනා මේ සම්බන්ධයෙන් සළකා බැලිය යුතු බවද ඔහු කියා සිටියේය.

කෙසේ නමුත් මේ අරඹන එක් වැඩසටහනකින් හෝ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට බලපෑමක් වන්නේ නම් එය නතර කරන බව අගමැතිවරයා අවධාරණය කළේය. ඒ වෙනුවෙන් පරිසර අධිකාරියෙන් වාර්තා ලබා ගන්නා බවත් කියා සිටියේය.

කොළඹ ජාතික අධ්‍යාපනික පොත් සල්පිලට දිවයිනේ ප්‍රමුඛතම පොත් ප්‍රකාශකයන් රැසකගේ අලෙවි කුටි ඇතුළත්ය. සෑම පොතක් සදහාම විශේෂ වට්ටම් සහිතව අලෙවි කිරීමට කටයුතුයොදා තිබේ. මෙම පොත්සල්පිලට සමගාමීව කොළඹ මහජන පුස්තකාලය අධ්‍යාපනික වැඩසටහන් රැසක් ද සංවිධානකර තිබේ. අද සිට දින 7ක් පුරා දිනපතා පෙරවරු නවයේ සිට රාත්‍රී 7 දක්වා ප්‍රදර්ශනය විවෘතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *