මව්තුමිය ඩයනා සමග අවසන් වරට කළ ‘දුරකතන සංවාදය’ විලියම් සහ හැරී කණගාටුවක්

(කොළඹ, ලංකාපුවත්) – තම මව වන ඩයනා කුමරිය සමග අවසන් වරට සිදු කෙරුණු දුරකතන සංවාදය හදිස්සියෙන් සිදු කෙරුණු ඉතා කෙටි කතාබහක් වූ බව ඔටුන්න හිමි විලියම් සහ හැරී කුමරුන් පවසයි.

ඔවුන් කියා සිටියේ එය සිය ඉදිරි ජීවිත කාලය පුරාම තමන්ව කණගාටුවෙන් තබන සිද්ධියක් බවය.

විලියම් සහ හැරී කුමරුන් මෙම අදහස් පළ කර ඇත්තේ සිය මවගේ අභාවයට වසර 20ක් සපිරීම අළලා සකස් කළ රූපවාහිනි වාර්තා චිත්‍රපටයක් සඳහාය.

සිය මිත්තණිය වන එළිසබෙත් මහ රැජිණිය සමග ස්කොට්ලන්තයේ ගතකරමින් සිටිය දී ඩයනා කුමරිය සමග අවසන් වරට කතාබහ කළ බවයි විලියම් සහ හැරී කුමරුන් පවසා ඇත. එම කතාබහ සිදුව ඇත්තේ විලියම් සහ හැරී සිය ඥාති සොහොයුරු සොහොයුරියන්ද කැටුව සිය මිත්තණිය සමඟ ස්කොට්ලන්තයේ ‘බැල්මෝරල්’ මාලිගයේ සිටියදීය.

1997 අගෝස්තු 31 වනදා ප්‍රංශයේ පැරිස් නුවර සිදුවූ රිය අනතුරකින් ඩයනා කුමරිය ජීවිතයෙන් සමුගත්තා ය.

සිය මව ඔවුන් අත්හැර යනවිට විලියම් කුමරු පහළොස් හැවිරිදි වියේ පසු වූ අතර ඔහුගේ සොහොයුරු හැරී කුමරුගේ වයස අවුරුදු දොළහක් විය.

පුත් කුමරුන් දෙදෙනාම සිය මව හඳුන්වා දෙන්නේ ඉතාම විනෝදශීලී ,චාම්, මිත්‍රශීලී චරිතයක් හැටියටයි.
“මගේ ඉදිරි ජීවිත කාලය පුරාම මා පෙළන කනගාටුව අම්මාත් එක්ක කරපු ඒ අන්තිම දුරකථන කතාව ඒතරම් කෙටි එකක් වීම වෙන්න පුළුවන්” හැරී කුමරු පවසයි.

බ්‍රිතාන්‍ය කුමරුන් දෙදෙනා තමන් පෙළෙන හෘද අභ්‍යන්තරය හෙළිදරව් කළේ සිය මවගේ අභාවයට අවුරුදු විස්සක් පිරීම නිමිත්තෙන් ITV ආයතනය විසින් සම්පාදනය කරන ලද රූපවාහිනී වාර්තාමය වැඩ සටහනකට එක් වෙමිනි.

“අම්මා කෙනෙක් හැටියටත් අපේ අම්මා කටයුතු කළේ හරිම විනෝදයෙන්” කුමර දෙසොහොයුරෝ පවසති.

අපට අවශ්‍ය කරන්නේ අපගේ කාර්යභාරය තුළින් අපේ අම්මාගේ උරුමය ජීවමානව පෙරට ගෙනයාමයි.ඒ සඳහා සුදුසු මාවත මෙය යයි අපි හිතනවා” විලියම් කුමරු සඳහන් කළේය.
“අම්මත් එක්ක කතා කරපු අන්තිම වචන මගේ මතකයේ නොමැකෙන විධියට සටහන් වෙලා තියෙනව” ඔටුන්න හිමි කුමරා පවසයි.
“මමත් හැරීත් අම්මට “ගුඩ්බායි” කියන්න හරිම ඉක්මන් වුනා. “ඉක්මනින් හමුවෙමු”(see you soon) එදා එහෙම කිව්වට ඊලඟට සිද්ධ වෙන්නේ මොකක්ද කියල මම දැන ගත්තානම්,මම එහෙම නොකියන්න තිබුණා” විලියම් කුමරු සිය මවගේ තමාට ඇසුණ අවසන් වදන් සිහිපත් කරමින් කියා සිටියි.

අම්මා සමඟ සිදුකළ සංවාදය පිළිබඳව කියා සිටියත් ඊට ඇතුළත් වූ දේවල් පිළිබඳ තොරතුරු විලියම් කුමරු විස්තර නොකරයි.
“අපේ අම්මා පුංචි ළමයෙක් වගෙයි”හැරී කුමරු සිය මවගේ සැහැල්ලු ජීවිතය සිහිපත් කරයි.
“අම්මාගේ සිනහව මට තවම ඇහෙනවා”
“අම්ම මට කියන්නේ ‘ඔයාට නරක් වෙන්න පුළුවන්.හැබැයි, අහුවෙන්න එපා’ කියලයි” හැරී කුමරු වැඩිදුරටත් පවසයි.
“අපේ අම්ම නරකම අම්මලාගෙන් එක්කෙනෙක්. අම්ම අපි පාපන්දු සෙල්ලම් කරනවා බලන්න ඇවිත් අපටත් හොරෙන් අපේ මේස් ඇතුළට පැණිරස ජාති දානවා” හැරී කුමරු අතීතයට ගමන් කරන්නේ සියමව තමන් සමඟ විනෝදයෙන් ගතකළ ආකාරය සිහිපත් කරමිනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *