උතුරේ නීතිඥවරුන් අද අධිකරණ කටයුතුවලින් ඉවත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – යාපනය, නල්ලූර් ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් උතුරේ නීතිඥවරුන් අද(24) අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

නීතිඥ සංගමයේ යාපනය ශාඛාවේ සභාපති ජනාධිපති නීතිඥ ශාන්තා අභිමානසිංහම් මහත්මිය ප්‍රකාශ කළේ මන්නාරම, චාවකච්චේරි, කයිට්ස්, වව්නියාව, කිලිනොච්චිය සහ මුලතිව් අධිකරණවල කටයුතුවලින් ඉවත් වන බවය.

යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ලවීමට විරෝධය පළ කිරීම එහි අරමුණ වේ.

ශාන්තා අභිමානසිංහම් මහත්මිය ප්‍රකාශ කළේ 2004 වසරේ මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතාට ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු නැවතත් එවැනි ප්‍රහාරයකට ඉලක්ක වූ පළමු අවස්ථාව මෙය බවය.

විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ සංවේදී නඩු විභාගයක් පැවැත්වෙන අතරතුර මෙවැනි ප්‍රහාරයක් එල්ලවීම නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් බව නීතිඥවරිය පෙන්වා දුන්නාය.

මෙවැනි තත්ත්වයක් යටතේ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව තර කිරීමටත්, සැබෑ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමටත් බලධාරීන් කටයුතු කළ යුතු බවත් සිය රාජකාරිය උපරිම අයුරින් ඉටු කළ පොලිස් නිලධාරීන්ට ගෞරව කරන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *